අයහපත් කාලගුණයෙන් පාකිස්තානයේ 500ක් ජීවිතක්ෂයට
පාකිස්තානයේ පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙම වසරේ ජුනි මස අග සිට මේ දක්වා කාලය තුළ අවම වශයෙන් පුද්ගලයින් 500කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා කළමනාකරණ අංශ තහවුරු කර ඇත.
මියගිය පිරිස අතරින් අඩක් පමණ දරුවන් බව සඳහන් වේ.
පාකිස්තානයේ මෝසම් සමය සාමාන්‍යයෙන් ජූලි සිට සැප්තැම්බර් දක්වා පවතින අතර, මෙම කාලය තුළ වාර්ෂික වර්ෂාපතනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබේ. ඒ හේතුවෙන් ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය එරට වයඹ සහ උතුරු ප්‍රදේශවල ස්වභාවික ව්‍යසනවලට නිරන්තරයෙන් මුහුණ දෙන කාලසීමාවකි.
බොහෝ පිරිසක් දියේ ගිලීමෙන් හෝ නිවාස කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ අංශ පෙන්වා දෙයි. ජලයෙන් බෝවන මාරාන්තික රෝගවලට දිවි ගලවාගත් පිරිස මුහුණ දෙන බවද ඔවුන් සඳහන් කරයි.
මිලියන 250ක පමණ ජනතාවක් වෙසෙන පාකිස්තානය, ගෝලීය වායු දූෂණයෙන් 0.5%කට පමණක් වගකිව යුතු වුවත්, ලෝකයේ දේශගුණික අවදානමට වඩාත් ගොදුරු විය හැකි රටවලින් එකකි. මේ වසරේ මෙතෙක් ඇති වූ මාරාන්තිකම සිදුවීම වාර්තා වූයේ පසුගිය සිකුරාදා (15) දිනයේදීය. එහිදී පැය 24ක් තුළ ගංවතුරෙන් පුද්ගලයින් 180කට වැඩි පිරිසක් මිය ගියේය.
මෙය එක් සිදුවීමක් පමණක් වන අතර, එවැනි සිදුවීම් කිහිපයක්ම පසුගිය දිනවල වාර්තා වී ඇත. ජූලි මැද භාගයේදී, පාකිස්තානයේ වඩාත් ජනාකීර්ණ පන්ජාබ් පළාතට දැඩි වර්ෂාවක් ඇද හැලී, ගම්මාන සහ කුඹුරු ජලයෙන් යට විය. එසේම, ඉස්ලාමාබාද් අසල රාවල්පින්ඩි නගරයට ද දැඩි වර්ෂාපතනයක් ඇද හැලී, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ජලයෙන් යට වී තිබුණි.
ජූලි අගදී, ගිල්ගිට්-බෝල්ටිස්තානය ප්‍රදේශය පුරා ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර, එහිදී ද විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අගෝස්තු මාසයේදී, ග්ලැසියර විලක් පිපිරීමෙන් ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ අධිවේගී මාර්ග, නිවාස සහ ගොවිපලවලට දැඩි හානි සිදු වූ බවද වාර්තා වේ.
