ක්‍රෙඩිට් කාඩ්පත් දත්ත ලක්ෂ 5ක් සොරාගෙන තරුණයෙක් ගහපු ගේමක්. ගිහින් තියෙන්නේ 11 වසරට පමණයි.

Kurunegala Sri Lanka
By Wayomi Jan 07, 2023 07:12 AM GMT
Wayomi

Wayomi

Report

අන් සතු ක්‍රෙඩිට් කාඩ්පත්වල දත්ත භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ රුපියල් ලක්‍ෂ 55ක පමණ විවිධ භාණ්ඩ මිල දී ගත් 18 හැවිරිදි තරුණයෙකු CID අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත ප්‍රධාන පෙළේ සමාගමකින් ලද පැමිණිල්ලක් අනුව ‘සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය’ මගින් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මොහු අත්අඩංගුවට ගැනුණා.

සැකකරු විවිධ පුද්ගලයන් සතු කාඩ්පත්වල දත්ත භාවිත කරමින් ඔහු රුපියල් ලක්‍ෂ 28ක පමණ මුදලකින් අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කර ඇති බව වාර්තා වෙනවා.

11 වන වසරට පමණක් අධ්‍යාපනය ලබා ඇති සැකකරු කුලී වැඩ කරන අතරතුර පරිගණක තාක්‍ෂණය සම්බන්ධයෙන් දැනුම ලබාගෙන ඇත්තේ ද අන්තර්ජාලය හරහායි.

කුඩා ජංගම දුරකතනයක් උපයෝගී කරගෙන ඔහු අන්සතු දත්ත ‘හැක් කිරීම්’ අත්හදා බලා ඇති බව සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඔහු මෙම වංචාව පළමුවෙන්ම අත්හදා බලා ඇත්තේ රුපියල් 50ක පෙරගෙවුම් (Reload) ඇණවුම් කර එය සාර්ථක වීමෙන් පසුවය.

අනතුරුව ඔහු ටිකෙන් ටික ඉහළ මිල ගණන් තිබෙන විවිධ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුගේ පරිගණකය පරීක්‍ෂා කිරීමේදී අන්සතු ක්‍රෙඩිට් කාඩ්පත්වලට අයත් දත්ත ලක්‍ෂ පහක් පමණ ගබඩා කර ඇති බවත් 2021 වසරේ දෙසැම්බර් මාසයේ සිට සැකකාර තරුණයා මෙම වංචනික ක්‍රියාව සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බහුතරයක් භාණ්ඩ සැකකරු අන්තර්ජාලය ඔස්සේ ගෙන්වාගෙන ඇත්තේ ව්‍යාජ ලිපින සඳහන් කර බවත්, එම භාණ්ඩ ලබා දීමට නොහැකිව බෙදාහැරීමේ සේවකයා ඇමතුම් ලබාදීමෙන් අනතුරුව ‘මම කිට්ටුව ඉන්නේ. ඇවිත් ගන්නම්’ යැයි කියා බෙදාහැරීමේ සේවකයා හමුවට ගොස් භාණ්ඩ ලබාගෙන තිබූ බවත් පොලිසිය පවසනවා.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW