යුධ අපරාධයක් සිදුවෙලා - ඊශ්‍රායලයෙන් ලෙබනනයට දරුණු ප්‍රහාරයක් - මාධ්‍යවේදීන් ඝාතනයට
දකුණු ලෙබනනයේ මාධ්‍ය ලාංඡන සහිතව ගමන් කරමින් තිබූ රථයකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු සහ සහන සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට ජෙසීන් පාරේ (Jezzine Road) අද (28) ගමන් කරමින් තිබූ මෙම රථයට මිසයිල 4ක් එල්ල වී ඇති බවයි.
මෙම ප්‍රහාරයෙන් 'අල් මායඩීන්' (Al Mayadeen) නාලිකාවේ ෆාතිමා ෆ්ටූනි සහ ඇයගේ සොහොයුරු මොහොමඩ් ෆ්ටූනි මෙන්ම 'අල් මනාර්' (Al-Manar) නාලිකාවේ අලි ෂුඅයිබ් යන මාධ්‍යවේදීන් මියගොස් ඇත.
තුවාල ලැබූවන්ට සහය වීමට පැමිණි ගිලන් රථවලට ද ප්‍රහාර එල්ල වී ඇති අතර එහිදී එක් සහන සේවකයෙකු ද මියගොස් තිබෙන බව එම වාර්තා වේ.
මෙම ප්‍රහාරය "දරුණු අපරාධයක්" ලෙස හඳුන්වමින් ලෙබනන ජනාධිපති ජෝසප් අවුන් ප්‍රකාශ කළේ, වෘත්තීය මට්ටමින් රාජකාරියේ නිරත සිවිල් වැසියන් ඉලක්ක කිරීම හරහා ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවයි.
කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදාව පවසන්නේ මියගිය එක් මාධ්‍යවේදියෙකු හිස්බුල්ලා බුද්ධි අංශ සමඟ සම්බන්ධව කටයුතු කර ඇති බවයි. නමුත් අදාල මාධ්‍ය ආයතන විසින් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
වැඩිදුරටත් වාර්තා වන්නේ වාර්තා 2025 වසරේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් විශාල පිරිසක් මියගොස් ඇති අතර, මෙය ඉතිහාසයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ දරුණුතම බලපෑමක් ලෙසයි.