තේ පැළ මිලියන 25 ව්‍යාපෘතියේ ඇත්ත හෙළිවෙයි - ජාතික විගණන වාර්තාවෙන් කරුණු රැසක් හෙළිවෙයි
තේ පැළ මිලියන 25ක විශේෂ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභ ලබාදුන් තේ තවාන්කරුවන් 980 දෙනාගෙන් 535 දෙනෙකු අක්‍රිය තත්ත්වයට පත්වීම හේතුවෙන් ඔවුන්ට ලබාදුන් රුපියල් 97,673,635ක් වටිනා මූල්‍ය හා ද්‍රව්‍යමය ප්‍රතිලාභ නිෂ්කාර්ය වී ඇති බව අනාවරණය වී තිබේ.
එමෙන්ම, මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් 108,081,300ක පමණ මූල්‍ය හා ද්‍රව්‍යමය සහනාධාර ලබාගත් ක්‍රියාකාරී හා අක්‍රිය තවාන්කරුවන් 581 දෙනෙකු කිසිදු තේ පැළයක් සිටුවා හෝ ක්ෂේත්‍රයට නිකුත් කර නොමැති බව ද අනාවරණය වී ඇත.
මෙම ව්‍යාපෘතිය මඟින් තේ පැළ 28,875,000ක් ක්ෂේත්‍රයට නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද, සැබෑ ලෙස නිකුත් කර ඇත්තේ තේ පැළ 5,707,028ක් පමණි. එය අපේක්ෂිත ප්‍රමාණයෙන් සියයට 20කට ආසන්න ප්‍රමාණයකි.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ රුපියල් මිලියන 250ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් 2020 සහ 2021 වසරවලදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් තවාන්කරුවන්ට ප්‍රතිලාභ ලබාදී තිබේ.
කෙසේ වෙතත්, ප්‍රතිලාභ ලැබූ තවාන්කරුවන්ගෙන් සියයට 54ක් 2025 වසර වන විට අක්‍රිය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද 2025 වර්ෂයට අදාළ විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත් වේ.