රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූමිකම්පාවක් - රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්
පැනමාවට බලපෑ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හේතුවෙන් මධ්‍යම හා දකුණු අමෙරිකානු කලාපයේ රටවල් රැසකට බලපෑම් එල්ල වී තිබේ.
මෙරට වේලාවෙන් ඊයේ (9) රාත්‍රියේ සිදුවූ මෙම භූමිකම්පාවත් සමඟ කලාපයේ රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව කොලොම්බියාව, ඉක්වදෝරය, නිකරගුවාව, කොස්ටාරිකාව සහ ග්වාතමාලාව යන රටවලට ද සුනාමි අවදානම බලපා තිබේ.
අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ (USGS) තොරතුරු අනුව, පැනමා නගරයේ සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි අඩු ජනගහනයක් සහිත ප්‍රදේශයක, පොළොව මතුපිට සිට කිලෝමීටර් 12.6ක ගැඹුරින් මෙම භූමිකම්පාව හටගෙන ඇත.
භූමිකම්පාවෙන් පසු පසුකම්පන 80කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, භීතියට පත් දහස් සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂාව පතා නිවෙස්වලින් හා ගොඩනැගිලිවලින් ඉවතට පැමිණ තිබේ.
පැනමා නගරයට නිරිත දෙසින් පිහිටි පෙනොනෝම් නගරයේ හෝටලයක කොටසක් කඩා වැටීම ඇතුළු ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව ද වාර්තා වේ. කෙසේ වෙතත්, මේ දක්වා ජීවිත හානි හෝ බරපතළ තුවාල පිළිබඳ වාර්තා වී නොමැති බව සඳහන් වේ.
එමෙන්ම, පැනමාවේ පළාත් හයක විදුලි සැපයුම බිඳවැටීම් ද වාර්තා වී තිබේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්
ප්‍රධාන ආර්ථික මර්මස්ථානවල කටයුතු සාමාන්‍ය පරිදි
මෙම හදිසි තත්ත්වය හමුවේ වුවද පැනමා ඇළ මාර්ගය, කොබ්‍රේ පැනමා තඹ පතල සහ ටොකුමෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ මේ වන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව වාර්තා වේ. ගුවන්තොටුපළේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමෙන් පසු යළි ආරම්භ කර ඇති බව ද සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම භූමිකම්පාව හේතුවෙන් පැනමාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ත් 10ත් අතර ප්‍රමාණයකට සමාන ආර්ථික අලාභයක් සිදුවිය හැකි බවට පුරෝකථනය කර තිබේ.
මෙම භූමිකම්පාවෙන් විශාල ජීවිත හානියක් වාර්තා නොවීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස භූමිකම්පාව සිදුවූ ප්‍රදේශයේ ජනගහනය සාපේක්ෂව අඩු වීම පෙන්වා දී ඇත.