රටම කළඹමින් මියගිය කපිල චන්ද්‍රසේනගේ Phone එකේ Data තවත් මාස 3කට ආරක්ෂිතයි - කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විශේෂ නියෝගයක්
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධ නඩුවකදී ඇප මත මුදාහැර සිටියදී මියගිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන මහතාගේ ජංගම දුරකතනයේ දත්ත තවත් මාස තුනක කාලයක් සංරක්ෂණය කර තබන බව අදාළ දුරකතන සමාගම දැනුම් දී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
අධිකරණ නියෝගයකට අනුව සිදුකළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් දුරකතන සමාගම මෙම පියවර ගෙන ඇත. අදාළ ජංගම දුරකතනය විවෘත කර එහි දත්ත ලබා ගැනීම සඳහා පොලිසිය සහාය ඉල්ලා ඇති නමුත් එම ඉල්ලීම මෙතෙක් ඉටු වී නොමැති අතර, එම දත්ත ලබා ගැනීම සඳහා ආයතන දෙකකින් සහාය ඉල්ලා ඇති බව ද පොලිසිය අධිකරණයට පැවසීය.
eSIM පත සම්බන්ධ අවසරය සහ වාර්තා ප්‍රමාදය: eSIM පත සාමාන්‍ය SIM එකක් කිරීම: මියගිය කපිල චන්ද්‍රසේන මහතා භාවිත කළ ඊ-සිම් (eSIM) පත සාමාන්‍ය සිම්පතක් බවට පත් කිරීම සඳහා අදාළ දුරකතන සමාගමට නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබේ.
රස පරීක්ෂක වාර්තා:
මියගිය පුද්ගලයාගේ මළ සිරුර තිබූ ස්ථානයේ තිබී සොයාගත් ඖෂධවලට අදාළ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම ප්‍රමාද වීමට හේතු දක්වන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මරණ සහතික වාර්තා:
මරණ සහතිකයට අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් හදිසි මරණ පරීක්ෂකවරයා වෙත ද නොතිසි නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය. සිද්ධියට අදාළ වැඩිදුර වාර්තා කැඳවීම සඳහා අදාළ නඩුව ලබන දෙසැම්බර් 02 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇත.