18 හැවිරිදි තරුණයෙකුට කෝටි 98ක රන් නිධානයක් හමුවෙයි – බෙල්ජියමේ තරුණයාට අහම්බෙන් පෑදුණු වාසනාව
කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී 18 හැවිරිදි තරුණයෙකුට රුපියල් කෝටි 98ක නිධානයක් හමුවෙයි බෙල්ජියමේ කාණු පද්ධතියක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල නිරතව සිටි 18 හැවිරිදි තරුණයෙකුට යුරෝ මිලියන 9ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ දුර්ලභ කාසි ඇතුළත් දැවැන්ත නිධානයක් හමුවී තිබේ.
මෙම සොයාගැනීම බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට කිලෝමීටර් 30ක් පමණ වයඹ දෙසින් පිහිටි Sint-Gillis-Dendermonde ප්‍රදේශයේදී සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‘කෝබේ’ නමැති 18 හැවිරිදි සිසුවා ගිම්හාන නිවාඩු කාලයේ තාවකාලික සේවකයෙකු ලෙස එම ඉදිකිරීම් කටයුතුවලට එක්ව සිටියදී මෙම නිධානය දැක තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ මුලින් එහි තිබූ දෑ යුරෝ එකේ කාසි යැයි සිතා සිටි බවත්, පසුව ඒ අතර රන් බාර් එකක් තිබෙන බව දැකීමෙන් තමන් ඇතුළු පිරිස පුදුමයට පත්වූ බවත්ය. හමුවූ නිධානය අතර රන් කාසි, රන් කැබලි සහ අංක සඳහන් කළ රන් බාර් රැසක් තිබී ඇති අතර, ඒවා ගොඩනැගිල්ලක බිත්තියක් තුළ සඟවා තිබූ බෑගයක තැන්පත් කර තිබී ඇත.
මෙම නිධානය සඟවා තිබූ ගොඩනැගිල්ල 19 වැනි සියවසේ අග භාගයේදී බීර කර්මාන්ත හිමිකරුවෙකු වූ Theophilus Van Assche වෙනුවෙන් ඉදිකරන ලද දැවැන්ත මන්දිරයක් බව සඳහන් වේ.
එම ස්ථානයේ බීර නිෂ්පාදන කටයුතු 1899 වසරේ ආරම්භ වී 1970 වසරේදී අවසන් වී තිබේ. මේ වනවිට එම ඓතිහාසික ගොඩනැගිල්ල සමාජ සුබසාධන සංවිධානයක් විසින් කාර්යාල සහ නිවාස බවට පත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කරමින් සිටින බව වාර්තා වේ. නිධානය හමුවීමත් සමඟ බලධාරීන් එම ස්ථානය ආරක්ෂිතව මුද්‍රා තබා, සොයාගත් රන් භාණ්ඩ බ්‍රසල්ස් නුවර ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් තිබේ. දැනට එම නිධානයේ මූලාරම්භය සහ නීත්‍යනුකූල හිමිකාරීත්වය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත
එම රන් භාණ්ඩ සොරකම් කළ දෑද, කිසියම් අපරාධයකට සම්බන්ධ දෑද යන්න පළමුව තහවුරු කළ යුතු බව බලධාරීන් පවසයි. මෙම නිධානයට හිමිකම් කීමට ඉදිකිරීම් කටයුතු සිදුකළ පාර්ශ්ව, එම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරන සංවිධානය මෙන්ම එහි මුල් හිමිකරු වූ Van Assche පවුලේ උරුමකරුවන්ටද හැකියාවක් පවතින බව සඳහන් වේ.
බෙල්ජියම් නීතියට අනුව, මෙවැනි නිධානයක් හමුවූ පසු එහි මුල් හිමිකරුවන් ඉදිරිපත් වීම සඳහා අවම වශයෙන් වසර පහක කාලයක් ලබාදිය යුතු බවද වාර්තා වේ. මේ අතර, නිධානය සොයාගත් කෝබේ පවසා ඇත්තේ එතරම් විශාල වටිනාකමක් සහිත දෑ හමුවීමෙන් පසු එය බලධාරීන්ට භාරදිය යුතු බව තමන් ඇතුළු සේවකයන් දැන සිටි බවයි.
කෙසේ වෙතත්, මෙම අසාමාන්‍ය සොයාගැනීම වෙනුවෙන් ඉදිරියේදී තමන්ට කිසියම් ත්‍යාගයක් හිමිවනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබේ.