වසර 24කට පසු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ලෙස පදක්කම් දිනූ යුපුන්ගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්
ජයග්‍රහණයෙන් අනතුරුව යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. ඔහු එහි සඳහන් කර ඇත්තේ, ජයග්‍රහණයත් සමග තමාට දැනෙන හැඟීම ප්‍රකාශ කිරීමට මේ මොහොතේ වචන නොමැති බවය. මෙය අනාගතයේ සිදුවීමට නියමිත තවත් දැවැන්ත සිදුවීම්වල ආරම්භයක් පමණක් බවත් තමා අඛණ්ඩව වෙහෙස වී ඉදිරියට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. තමා ගැන බලාපොරොත්තු තබාගෙන රැඳී සිටි සියලුදෙනාට සිය කෘතඥතාව පළ කරන බව යුපුන් සිය ෆේස්බුක් පණිවිඩය මඟින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
22 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාගේත් වැඩි අවධානය දිනා ගත් පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනාදීමට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වුණි. බර්මිංහැම් නුවර ඇලෙක්සැන්ඩර් ක්‍රීඩා සංකීර්ණයට රැස්ව සිටි 35,000කට අධික ප්‍රේකෂකයින්ගේ ඔල්වරසන් මැද පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගය සඳහා සහභාගිවීමට පොදුරාජ්‍ය මණ්ඩලයීය කලාපයේ වේගවත්ම ක්‍රීඩකයින් 8දෙනා ධාවන පථයට පිවිසුණි.
යුපුන් අබේකෝන්ට ධාවනයේ යෙදීම සඳහා මංතීරු අංක දෙක වෙන්ව තිබූ අතර, යුපුන් ධාවන පථයට පිය නැඟුවේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගයකට සහභාගී වන පළමු ආසියාතිකයා ලෙසය. අනතුරුව පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර වේගවත්ම මිනිසා තෝරා ගැනීම සඳහා වූ තරගය ආරම්භ වුණි. තත්ත්පර 10.02කින් ඉසව්ව නිමකළ කෙන්යාවේ ෆර්ඩිනැන්ඩ් ඔමන් යාලා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ වේගවත්ම මිනිසා ලෙස කිරුළු පළඳිද්දී දෙවන ස්ථානය සඳහා දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ සහ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් අතර පැවතුණේ තියුණු තරගයකි.
තත්ත්පර 10.13කින් ඉසව්ව නිමකළ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ රිදී පදක්කම හිමිකර ගනිද්දී යුපුන්ට රිදී පදක්කම ගිලිහී ගියේ මිලි තත්ත්පර 1කිනි. ඒ අනුව තත්ත්පර 10.14ක් ලෙස යුපුන්ගේ තරග නිමිකාලය සටහන් වූ අතර යුපුන්ට එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිවුණි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙක් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී පදක්කමක් දිනාගත්තේ වසර 24කට පසුවය. අවසන් වරට මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් හිමිකර දීමට 1998 වසරේදී සුගත් තිලකරත්න සමත්ව තිබේ. එමෙන්ම යුපුන් වාර්තා අතරට එක්වන්නේ වසර 92ක පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ පදක්කමක් හිමිකරගත් සිව්වන ශ්‍රී ලංකික මලල ක්‍රීඩකයා ලෙසය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |

