මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරද්දි යෝෂිත තමන් නිවැරදිකරු බව කියයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද (14) දින ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් ලබා දී ඇත.
එසේම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ කුමන්ත්‍රණය නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පදනම් විරහිත බවට විනිසුරුවරයා සඳහන් කර ඇත.
එබැවින් එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බව කී විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව අදාළ චෝදනාව පවත්වාගෙන යාමට බාධාවක් නැති බවත් පවසා ඇත. පසුව විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාට විවෘත අධිකරණයේ දී චෝදනා පත්‍ර කියවාදීම සිදු කෙරුණු බව වාර්තා වේ.
එහිදී එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කිරීමත් සමඟ නඩු විභාගය ආරම්භ වී ඇත.