පුංචි කෙල්ල යොහානි ලබන සතියෙ පාර්ලිමේන්තුවට..

parliment sinhala news yohani menikemagehithe menike
By Gagana Nov 18, 2021 03:22 PM GMT
Gagana

Gagana

Report

"මැණිකේ මගේ හිතේ" ගීතයෙන් ලෝකය පුරා ඉහළ රසික ජන ප්‍රසාදයක් දිනාගත් යොහානි ද සිල්වා නව පරපුරේ තරුණ ගායන ශිල්පිනියට උපහාර පිදීමේ උත්සවයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 23 වැනිදා පෙරවරුවේ පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණදීර මහත්මිය පැවසුවාය.

අගමැති මහින්ද රාජපක්ෂ සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසිනි.

යොහානි ද සිල්වා මෙනෙවිය මෙදින පෙරවරුවේ කතානායක ගැලරියටද කැඳවා ගෙන එනු ලබන්නීය.

මේ අවස්ථාවේදී කතානායකවරයා පාර්ලිමේන්තු සභාව අමතමින් ඇයගේ පැමිණීම දැනුම්දීමට නියමිත අතර සියලු මන්ත්‍රීවරුන් එහිදී ඇයට සුබ පැතුම් පිරිනැමීමට නියමිතය.

ඉන් අනතුරුව ඇය පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන උත්සව සභාව වෙත කැඳවා ගෙන යනු ලබන අතර එහිදීද ඇයට විශේෂ උපහාර පිදීමක් සිදු කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙහිදී කතානායකවරයා උත්සව සභාව අමතමින් යොහානිද සිල්වා රංගන ශිල්පිනියට සුභාශිංසන එක් කිරීමට නියමිතය.

පිළිගැනීමේ කතාව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් සිදුකරනු ලබන අතර ස්තූති කතාව පවත්වනු ලබන්නේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානී රෝහණදීර මහත්මිය විසිනි.

ගායන ශිල්පිනියට අගමැතිවරයා අතින් උපහාර තිළිණය ප්‍රදානය කෙරෙන්නේ ඉන් අනතුරුවය.

මේ අතර යොහානි ද සිල්වා මෙනවිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් දිවා භෝජන සංග්‍රහයක්ද එදින පිරිනමනු ලැබේ. මැණිකේ මගේ හිතේ ගීතය හරහා ශ්‍රී ලංකාව ලෝකයට රැගෙන ගොස් ඉහළ තැනකට ඔසවා තැබීම අගය කිරීම සඳහා මෙම උපහාර උත්සවය සංවිධානය කරන බව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now