ලොව විශාලතම කුරුවින්ද මැණික් පොකුර කොළඹදී විකිණීමට සූදානම්ලු
ටොන් ගණනාවක් බරැති ලොව විශාලතම කුරුවින්ද මැණික් පොකුර (Corundum Sapphire) අලෙවි කිරීමට සූදානම් වේ.
ගෝලීය ප්‍රවර්ධන අන්තර්ජාතික සහ කේසර සිංහ ජෙම්ස් පෞද්ගලික සමාගම ලබන 11 වැනිදා කොළඹ, නවම් මාවතේ ලංකා වාණිජ මණ්ඩල වෙන්දේසි ශාලාවේදී පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ පොළේදී මෙම අලෙවිය සිදු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ මැණික් වෙළෙඳාම යළි ඔසවා තබමින්, එහි නාමය අන්තර්ජාතික වෙළෙඳපොළට රැගෙන යාමේ අරමුණින් මෙම පොළ ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරය සහ කේසර සිංහ ජෙම්ස් පෞද්ගලික සමාගම විසින් සංවිධානය කරයි.
මෙරට දුර බැහැර පළාත්වලින් හමුවන මැණික්වලට කොළඹ වෙළෙඳපොළේදී ඉහළ හා සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් මෙම මැණික් පොළ සංවිධානය කරන බව ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරයේ ප්‍රධාන විධායක නිලධාරි, ආචාර්ය තිලකසිරි විතාරණ පවසයි.
කොළඹ මැණික් වෙන්දේසියට අමතරව, තායිලන්තය, සිංගප්පූරුව, ජපානය, ඇමරිකාව ඇතුළු ලොව පිළිගත් මැණික් වෙළෙඳපොළවලට මෙරට වෙළෙඳුන්ගේ මැණික් යොමු කිරීමටත්, එමඟින් ඔවුන්ගේ ආදායම් වැඩි කිරීමටත් මෙමඟින් අපේක්ෂා කෙරේ.
මෙරට ආධුනික මැණික් වෙළෙඳුන්ට ද අවස්ථාවක් උදා කිරීම මෙහි තවත් අරමුණක් බව විතාරණ මහතා සඳහන් කළේය. කොළඹ විශ්වවිද්‍යාලයේ නිෂ්පාදන කළමනාකරණය හා අලෙවි කළමනාකරණය පිළිබඳ බාහිර කථිකාචාර්ය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මැණික් විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්ය, ආචාර්ය සත්‍යජිත් ධර්මප්‍රිය බුත්පිටිය මහතා, මෙම විශාලතම මැණික් පොකුර පරීක්ෂා කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ, මෙම අලෙවියෙන් මැණික් වෙළෙඳාම් ඉතිහාසයේ විශාලතම ගනුදෙනුවක් සිදුවනු ඇති බවයි.