හෝමුස් විවෘත කිරීමත් සමග ලෝක බොරතෙල් මිලත් පහළට

Report

අමෙරිකා - ඉරාන සටන් විරාමයේ ඉතිරි කාලසීමාව සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නැව් සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කරන බව ඉරානය ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක බොරතෙල් මිල දැඩි ලෙස පහත වැටී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙම වර්ධනය හේතුවෙන් බොරතෙල් මිල 10%කට වඩා අඩුවී ඇති බව සඳහන් වේ.

ඊයේ (16) වන විට ඩොලර් 98ක් පමණ වූ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල, ඩොලර් 88ක් දක්වා පහත වැටී ඇති අතර, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිලද ඩොලර් 84ක් දක්වා අඩුවී ඇත.

ගල්ෆ් කලාපය සහ අරාබි මුහුද සම්බන්ධ කරන තීරණාත්මක නාවික මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ලොව තෙල් සහ ස්වභාවික වායු ප්‍රවාහනයේ විශාල කොටසක් සිදුවන අතර, එය ගෝලීය බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑමක් ඇති කරයි.

මැදපෙරදිග යුද තත්ත්වයන්ට පෙර බ්‍රෙන්ට් තෙල් මිල ඩොලර් 70ට අඩුවෙන් පැවති අතර, පසුගිය මාර්තු මාසයේදී එය ඩොලර් 119 ඉක්මවූ ඉහළම මට්ටමකටද ළඟා වී තිබිණි.