රිය පැදවීම පුහුණු වෙමින් සිටි කාන්තාවට මොහොතකින් සිදුවූ දේ – මෝටර් රථයත් සමඟ පොකුණේ ගිලෙයි
ඉන්දියාවේ කොල්කටා නගරයේදී රිය පැදවීම පුහුණු වෙමින් සිටි 42 හැවිරිදි කාන්තාවක් ඇය පැදවූ මෝටර් රථයේ පාලනය ගිලිහී පොකුණකට වැටීමෙන් දියේ ගිලී මියගොස් තිබේ.
මෙම අනතුර බදාදා කොල්කටා නගරයේ කෙස්ටෝපූර්හි ප්රෆුල්ල කනන් (බටහිර) ප්රදේශයේදී සිදුව ඇත. ප්රදේශවාසියෙකු සඳහන් කළේ සුමිත්රා දාස් නමැති කාන්තාව තම දියණිය පාසලට ස්කූටරයකින් රැගෙන ගොස් ආපසු පැමිණි බවයි. අනතුරුව ස්කූටරය නවතා, නිවසේ ගරාජයේ තිබූ Hyundai Eon මෝටර් රථය පිටතට ගෙන රිය පැදවීම පුහුණු කිරීම සඳහා පිටත්ව ගොස් තිබේ.
එහිදී මෝටර් රථයේ පාලනය ගිලිහී එය පොකුණකට වේගයෙන් ඇදී ගොස් ඇති අතර, මෝටර් රථය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබේ. සුමිත්රාව බේරා ගැනීමට දැඩි උත්සාහයක් දැරුවද ඇය බේරාගැනීමට නොහැකි වී දියේ ගිලී මියගොස් ඇත.
පැයකට වැඩි කාලයක් පැවති ගලවා ගැනීමේ මෙහෙයුමකින් අනතුරුව ගිනි නිවීම් අංශය සහ පොලිසිය එක්ව මෝටර් රථය පොකුණෙන් ගොඩගෙන තිබේ. මෝටර් රථය ජලයෙන් ගොඩගත් අවස්ථාවේදී සුමිත්රාගේ සිරුර එහි ඇතුළත තිබී සොයාගෙන ඇත.
ඇගේ මුහුණ මෝටර් රථයේ පිටුපස දොර දෙසටත්, කකුල් රියදුරු අසුන සහ සුක්කානම ආසන්නයේත් තිබූ බව සඳහන් වේ. ඇය මෝටර් රථය ජලයෙන් යටවෙමින් තිබියදී ඉන් පිටතට පැමිණීමට උත්සාහ කර ඇති බවට එම ස්ථානයේ තිබූ තත්ත්වය අනුව සැක කළ හැකි බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් ආරංචි මාර්ග අනුව, සුමිත්රාගේ සැමියා වන ක්රිෂ්ණේන්දු දාස් විසින් මෙම මෝටර් රථය මෑතකදී මිලදීගෙන තිබේ. රියදුරු බලපත්ර පරීක්ෂණයට මුහුණ දීම සඳහා සුමිත්රා රිය පැදවීම පුහුණු වෙමින් සිට ඇති අතර, එම පරීක්ෂණය අගෝස්තු 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ බවද වාර්තා වේ.
නවක රියදුරෙකු වූ ඇය අනතුර සිදුවන අවස්ථාවේදී තිරිංග වෙනුවට අත්වැරදීමකින් ඇක්සලරේටරය තද කර ඇති බවත්, ඒ හේතුවෙන් මෝටර් රථය වේගයෙන් පොකුණ මැදට ඇදී ගොස් ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
සුමිත්රාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා රජයේ රෝහලකට යවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.