වියදම් දරාගත නොහැකිව ක්‍රීඩකයෝ අසරණ වෙයි
ඔලිම්පික් උළෙලට පමණක් දෙවැනි වන බහු-ක්‍රීඩා ඉසව්ව ලෙසින් සැලකෙන, ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම පදක්කම දිනාගැනීම සඳහා උදාවී ඇති වටිනාම අවස්ථාව, අදාළ සහභාගීත්වය වෙනුවෙන් වන බරපැණ දරාගැනීමට නොහැකි වීම හේතුවෙන් මගහැරී යන තත්ත්වයක් උදාවී තිබේ.
[CNQXPHV[
ලබන ජුලි 16වැනිදා සිට 28 වැනිදා දක්වා ජර්මනියේදී පැවැත්වීමට නියමිත අදාළ ක්‍රීඩා උළෙල සඳහා තේරී සිටින, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩකයකු වන තාරුක ධනංජය, මේ වන විට හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දක්වා සිටින දක්ෂතා මෙම ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනාගත හැකි ඉහළම මට්ටමේ වන නමුත්, අදාළ සහභාගීත්වය වෙනුවෙන් අවශ්‍ය වන රුපියල් ලක්ෂ 7ක මුදල සොයාගැනීම ඔහුට දැඩි අභියෝගයක් වී ඇත.
ඉකුත්වර පැවැති ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනූ ක්‍රීඩකයා ඒ වෙනුවෙන් මීටර 80.37ක දුරක් වාර්තා කර තිබූ අතර රිදී පදක්කම දිනාගත් ක්‍රීඩකයා මීටර 80.02ක දුරක් වාර්තා කර තිබිණි. එහිදී ලෝකඩ පදක්කම වෙනුවෙන් වාර්තා වී තිබූ දුර මීටර 78.42ක් විය.
ඉකුත්වර එම රන් සහ රිදී පදක්කම් දිනූ ක්‍රීඩකයන් දෙදෙනාම (ක්‍රීඩකයකුට මෙම උළෙල සඳහා සහභාගීත්වයට අවස්ථාව ලැබෙනුයේ දෙවරක් පමණක් බැවින්) මෙවර ඒ සඳහා සහභාගී නොවන අතර ඒ අනුව මීටර 78ට වැඩි විසිකිරීමක් සඳහා මෙවර පදක්කමක් දිනාගැනීමේ ඉහළ සම්භාවිතාවක් තිබේ. මේ වන විට සිය පුහුණුවීම්වලදී තාරුක ධනංජය විසින් මීටර 78හා 80 වැනි විසිකිරීම් සටහන් කරමින් සිටින බැවින් ඔහු ශ්‍රී ලංකා ඉතිහාසයේ ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලක පදක්කමක් දිනාගැනීම සඳහා ඉහළම ශඛ්‍යතාව දක්වා සිටින ක්‍රීඩකයා බවට මේ වන විට පත්ව සිටියි.
[L7F7LUS[
මෙතෙක් පැවැති ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලහිදී ශ්‍රී ලංකා නියෝජනයක් අවසන් තරග වටයට තේරුණු අවස්ථාවක් හෝ වාර්තා නොවේ. ඒ අනුව, තාරුක ධනංජයගේ සහභාගීත්වය ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලුත් සටහනක් තැබෙන අවස්ථාවක් වීමට බොහෝ ඉඩ කඩ ඇති නමුත් එකී වැදගත්කම මෙරට අදාළ බලධාරීන් විසින් තේරුම්ගෙන තිබේද යන පැනය මේ වන විට මතුව තිබේ.
මෙම ක්‍රීඩා උළෙල සඳහා සහභාගීවන අනෙකුත් විශ්වවිද්‍යාලවල ක්‍රීඩකයන් හට ඔවුන්ගේ සහභාගීත්වය වෙනුවෙන් අදාළ පූර්ණ වියදම හෝ සැලකිය යුතු කොටසක් එකී විශ්වවිද්‍යාලවලින් දැරීමට සූදානම් බව වාර්තා වන නමුත්, සබරගමු විශ්වවිද්‍යාලය මෙතෙක් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවක් වාර්තා නොවේ. ඒ අනුව වෙනත් බාහිර අනුග්‍රාහකයකුගේ උපකාර ලබාගැනීම කෙරෙහි තාරුක ධනංජය උනන්දු වන නමුත් මෙතෙක් එයද මෙතෙක් ඉටුව නැති බව සැලවේ.
