තමිල්නාඩුව හෙල්ලූ විජේගේ ආගමනය - ස්ටාලින්ගේ බලකොටුව බිඳෙයිද?
ඉන්දීය මධ්‍යම රජයට මෙන්ම ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන්ද වැදගත් බලපෑමක් ඇති කරන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, මැතිවරණ ප්‍රතිඵල එළැඹෙන 04 වැනිදා පස්වරුවේ නිකුත් කිරීමට නියමිතය.
පසුගිය අප්‍රේල් 23 වැනිදා ඉතා උණුසුම් අයුරින් ඡන්ද විමසීම අවසන් වූ මෙම මැතිවරණය සඳහා ඉහළ ජන සහභාගීත්වයක් වාර්තා වී ඇත. එහිදී සියයට 85.15%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වීම විශේෂත්වයකි. මෙය තමිල්නාඩු මැතිවරණ ඉතිහාසයේ ඉහළම ඡන්ද ප්‍රතිශතයක් ලෙසද සඳහන් වේ.

මෙවර දේශපාලන සටනේ ප්‍රධාන අවධානය දිනාගත්තේ නළු විජේ නායකත්වය දරන තමිලග වෙට්රි කලගම් (TVK) පක්ෂයේ ආගමනයයි. එමෙන්ම වත්මන් ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් ද්‍රාවිඩ මුන්නේත්‍ර කලගම් (DMK) සන්ධානය සහ අන්නා ද්‍රාවිඩ මුන්නේත්‍ර කලගම් BJP සන්ධානය අතර තියුණු තරගයක් පැවති බව ඉන්දීය දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.
විචාරකයින්ගේ මතය අනුව, මෙවරද DMK සන්ධානයට වාසිදායක තත්ත්වයක් පවතින බව සඳහන් වේ. TVK පක්ෂය තරුණ ඡන්ද පදනමට බලපෑමක් කළද, සමස්ත බලය DMK සන්ධානය වෙත යොමුවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බලය ලබා ගැනීමට එක් සන්ධානයකට අවම වශයෙන් ආසන 118ක් දිනාගැනීම අවශ්‍ය වේ.
තමිල්නාඩු ප්‍රතිඵලය ඉන්දීය මධ්‍යම දේශපාලනයට මෙන්ම ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා සඳහාද වැදගත් වන අතර, කච්චතිව් දූපත සහ ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳව නව පාලන බලයේ ස්ථාවරය කලාපීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මතද බලපානු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.