ඉරානයෙන් ආර්ථික න්‍යෂ්ටික අවියක්? මුළු ලොවටම තර්ජනයක් බවට අමෙරිකාවෙන් චෝදනාවක්[VIDEO]
ඉරානය විසින් හොර්මුස් සමුද්‍ර සන්ධිය "ආර්ථික න්‍යෂ්ටික අවියක්" වශයෙන් භාවිතා කරමින් මුළු ලෝකයටම තර්ජනය කරන බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ චෝදනා කරන බව වාර්තා වේ.
ඒ අනුව ඔහු අවධාරණය කර ඇත්තේ ඉරානයේ කොන්දේසි මත මෙම තීරණාත්මක මුහුදු මාර්ගය නැවත විවෘත කිරීමට හෝ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා කල් දැමීමට වොෂින්ටනය කිසිසේත් සූදානම් නැති බවයි.
මෑතකදී ඉරානය විසින් අමෙරිකාව වෙත නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට සහ පවතින යුද්ධය අවසන් කිරීමට එකඟතාව පළ කර තිබෙන බව සඳහන්.
කෙසේ වුවද න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පසු අදියරකට කල් දැමිය යුතු බවට ඔවුන් එමඟින් කොන්දේසියක් පනවා ඇත. ඒ අනුව ෆොක්ස් නිවුස් නාලිකාව සමඟ අදහස් දක්වමින් රූබියෝ විසින් මෙම යෝජනාව පිළිබඳව සිය සැකය පළ කර තිබෙනවා.
"ඔවුන් සමුද්‍ර සන්ධිය විවෘත කරනවා යන්නෙන් අදහස් කරන්නේ, ඔවුන්ගේ අවසරය මත හෝ ඔවුන්ට මුදල් ගෙවා ගමන් කළ යුතු බව නම්, එය සමුද්‍ර සන්ධිය විවෘත කිරීමක් නොවේ" යනුවෙන් රූබියෝ පවසා ඇත.
එමෙන්ම මෙම මුහුදු මාර්ගය ජාත්‍යන්තර මුහුදු කලාපයක් බවත්, එය සූවස් හෝ පැනමා ඇල මෙන් නොවන බවත් පෙන්වා දුන් ඔහු, ඉරානයේ මෙම ක්‍රියාකලාපය ලොව පුරා භයානක පූර්වාදර්ශයක් සපයනු ඇති බවට ද තර්ක කර ඇත.
ඒ අනුව මෙම මුළු අර්බුදයටම මුල් වී ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන බවත්, එය විසඳීම ප්‍රමුඛ අවශ්‍යතාව බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
මේ අතර රූබියෝ වැඩිදුරටත් සඳහන් කළේ ඉරාන නායකත්වය තුළ මධ්‍යස්ථ මතධාරීන් නොමැති බවත්, වර්තමාන පාලනය පවතින තාක් ඔවුන් කවදා හෝ න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට උත්සාහ කරනු ඇති බවත් ය.
ධවල මන්දිර ආරංචි මාර්ග වාර්තා කරන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ මෙම යෝජනාව පරීක්ෂා කර ඇතත් ඒ පිළිබඳව ඔහු සෑහීමකට පත් වී නොමැති බවයි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට වන ජනාධිපතිවරයාගේ ස්ථාවරය හමුවේ, මෙවැනි අර්ධ විසඳුම් පිළිගැනීම ඔහුගේ ප්‍රතිපත්තියට එල්ල වන බාධාවක් බවට නිලධාරීන් සලකන බව වාර්තා වේ.
මේ අතර තමන් න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ නොකරන බව සඳහන් කරන ටෙහෙරානය, තම න්‍යෂ්ටික වැඩසටහන අත්හැරීමට හෝ යුරේනියම් තොග ඉවත් කිරීමට අමෙරිකාව කරන ඉල්ලීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර සිටියි.