තායිලන්තයේ සිට ගෙනා කිලෝ 112ක 'කුෂ්' අභිරහස හෙළිවේ - චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඔවුන් අද (02) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, එළැඹෙන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
අදාළ චීවරධාරීන් ඉකුත් අප්‍රේල් 25 වැනිදා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබුවේ, කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමඟය.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අමිතානන්ද නමැති චීවරධාරියෙකු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි. ඔහු ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙට (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම චීවරධාරියාගේ මෙහෙයවීම යටතේ මීට පෙරද මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ආ අවස්ථා ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
එමෙන්ම, මෙම ජාවාරමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දින 7ක රඳවා ගැනීමේ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර මෙම නියෝග ලබාගෙන ඇත.