නවීන ක්‍රීඩා පාවහන් සහ පුහුණු තාක්ෂණයටත් බිඳ දැමිය නොහැකිවු මීටර් 800 ලෝක වාර්තාවේ අභිරහස
මලල ක්‍රීඩා ඉතිහාසයේ දීර්ඝතම කාලයක් පවතින ලෝක වාර්තාව ලෙස කාන්තා මීටර් 800 ඉසව්වේ වාර්තාව සැලකේ. වසර 43ක් පුරා එම වාර්තාව අභිබවා යාමට කිසිදු ක්‍රීඩිකාවකට හැකිවී නොමැත.
ක්‍රීඩා පාවහන් තාක්ෂණයේ දියුණුව, පෝෂණය සහ ශරීර ප්‍රතිසාධනය පිළිබඳ දැනුම සැලකිය යුතු ලෙස ඉහළ ගියද මෙම වාර්තාව තවමත් නොබිඳී පැවතීම විශේෂත්වයකි.
කාන්තා මීටර් 800 ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ චෙක් ජනරජයේ ජර්මිලා ක්‍රටොක්විලෝවාය. ඇය 1983 වසරේදී මිනිත්තු 1යි තත්පර 53.28ක කාලයක් වාර්තා කරමින් එම වාර්තාව පිහිටුවා තිබේ.
එම කාලයේ චෙකොස්ලොවැකියාවේ පැවති ක්‍රීඩකයන් සඳහා වූ ක්‍රමානුකූල තහනම් උත්තේජක වැඩසටහනක සහාය ඇයගේ දක්ෂතාවට ලැබුණු බවට චෝදනා එල්ල වී තිබුණද, ක්‍රටොක්විලෝවා එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.
කාන්තා මීටර් 400 ලෝක වාර්තාවට හිමිකම් කියන නැගෙනහිර ජර්මනියේ මරීටා කොක් සම්බන්ධයෙන්ද මෙවැනිම සැකයන් මතුවී තිබේ. ඇය 1985 වසරේදී එම වාර්තාව පිහිටුවා ඇති අතර, එවකට නැගෙනහිර ජර්මනියේ ක්‍රීඩකයන්ට ක්‍රමානුකූලව තහනම් උත්තේජක ලබාදුන් බවට සාක්ෂි පැවතිණි.
කෙසේ වෙතත් කොක් කිසිදු තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත් වී නොමැති අතර, තමන් කිසිදු වරදක් සිදු නොකළ බව දිගින් දිගටම පවසා ඇත. 2017 වසරේදී යුරෝපීය මලල ක්‍රීඩා සංගමය 2005 වසරට පෙර පිහිටුවා තිබූ වාර්තා අවලංගු කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත් කළේය. එය අවසානයේ ක්‍රියාත්මක නොවුණද, පැරණි වාර්තා සම්බන්ධයෙන් පවතින සැකය එමඟින් යළි අවධානයට ලක්විය.
1983දී ක්‍රටොක්විලෝවා මීටර් 800 තරගය නිමා කළේ ඇයට ආසන්නතම ප්‍රතිවාදිනිය වූ පෝලන්තයේ ජොලන්ටා යනුට්කාට වඩා තත්පර හතකට වැඩි කාලයක් ඉදිරියෙන් සිටිමිනි. එම වාර්තාවට තත්පරයකට අඩු පරතරයකින් ළඟාවීමට ක්‍රීඩිකාවකට හැකිවූයේ වසර 25කට පසුවය.
මෙතෙක් වාර්තාවට ආසන්නතම දක්ෂතාව දක්වා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ඔඩ්‍රි වෙරෝය. ඇය මෙම වසරේ ජුනි මාසයේදී මිනිත්තු 1යි තත්පර 53.80ක කාලයක් වාර්තා කළ අතර, එය ලෝක වාර්තාවට වඩා තත්පර 0.52ක් පමණක් මන්දගාමීය.
මේ අතර බ්‍රිතාන්‍යයේ ඔලිම්පික් ශූරී කීලි හොජ්කින්සන් පෙබරවාරි මාසයේදී මීටර් 800 ගෘහස්ථ ලෝක වාර්තාව බිඳ දැමීමට සමත් වූවාය. එම වාර්තාව වසර 2002 සිට පැවති අතර, ඇය තරගය නිමා කළේ මිනිත්තු 1යි තත්පර 54.87කිනි.
මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් මීටර් 800 වෙත මාරුවූ නෙදර්ලන්තයේ ෆෙම්කේ බෝල්ද කෙටි කාලයක් තුළ කැපී පෙනෙන දක්ෂතාවක් දක්වා තිබේ. මීටර් 800 පිළිබඳ අත්දැකීම් අඩු වුවද ඇය ජුනි මාසයේ පැරිස් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මිනිත්තු 1යි තත්පර 55.60ක කාලයක් වාර්තා කළාය.
මලල ක්‍රීඩා විශේෂඥයන් පෙන්වා දෙන්නේ ක්‍රීඩා විද්‍යාවේ දියුණුවද මීටර් 800 ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ යාමට හේතුවක් වී ඇති බවයි. නවීන ක්‍රීඩා පාවහන් තාක්ෂණය, පෝෂණ ක්‍රම, ශරීර ප්‍රතිසාධන ක්‍රම සහ ක්‍රියේටීන්, නයිට්‍රේට් හා බයිකාබනේට් වැනි අතිරේක පිළිබඳ වැඩි දැනුමක් ක්‍රීඩකයන්ට ලැබී තිබේ.
මීටර් 800 වැනි මධ්‍ය දුර ඉසව්වකදී තරගයට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය නිවැරදිව ලබාගැනීම සහ ශක්තිය කළමනාකරණය කිරීමද කාර්යසාධනයට විශාල බලපෑමක් ඇති කරයි. කෙසේ වෙතත් වසර 43ක් පුරා නොබිඳුණු ක්‍රටොක්විලෝවාගේ වාර්තාව බිඳ දැමීම තවමත් දැවැන්ත අභියෝගයකි.
මේ වනවිට ලොව ප්‍රමුඛතම මීටර් 800 ක්‍රීඩිකාවන් අතර පරතරයද ඉතා සුළු බැවින්, එක් ක්‍රීඩිකාවක් තවත් ඉහළ මට්ටමක් සනිටුහන් කළහොත් වාර්තාව බිඳ දැමීමේ හැකියාව පිළිබඳ නව බලාපොරොත්තුවක් ඇතිවිය හැකි බව විශේෂඥයෝ පවසති.
ඒ අනුව බර්මින්හැම්හි පැවැත්වෙන යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේදී කීලි හොජ්කින්සන් ඇතුළු ලොව ප්‍රමුඛ මීටර් 800 ක්‍රීඩිකාවන් අතර පැවැත්වෙන තරගය කෙරෙහි දැඩි අවධානයක් යොමුව තිබේ. එම තරගය වාර්තා බිඳ දැමීමේ වේගවත් තරගයක් වේද, නැතහොත් උපක්‍රමශීලී තරගයක් වේද යන්න තීරණය වීමට නියමිතය.