එන්නත්කරනය අත්හිටුවන ලෙස WHO ඉල්ලීමක්
සෑම රටක ම ජනගහනයෙන් 10%ක ප්‍රතිශතයකට එන්නත් ලබාදෙන තෙක් කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නතේ 3 වන මාත්‍රාව (Booster vaccines) ලබාදීම අවම වශයෙන් ලබන සැප්තැම්බර් මාසය වන තුරුවත් අත්හිටුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව බලවත් රටවල්වලින් ඉල්ලීමක් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායලය සහ ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් මෙලෙස තුන් වන මාත්‍රාවක් ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බවය. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රෝස් ඇඩ්හනොම් මහතා පවසා ඇත්තේ, මෙම තත්ත්වය අනුව දුප්පත් රටවල් තුළ එන්නත්කරණයේ පසුබැසීමක් ඇති වන බවය.
එමෙන් ම, එන්නත් සැපයීමේ දුර්වලතා හේතුවෙන් අඩු ආදායම්ලාභී රටවල් සඳහා ලබාගත හැකිව ඇත්තේ, සෑම පුද්ගලයින් 100 දෙනෙකුට ම එන්නත් මාත්‍රා 1.5ක් වැනි අඩු ප්‍රමාණයක් බව ද ඔහු පෙන්වා දී ඇත. එබැවින් ආචාර්ය ටෙඩ්‍රෝස් පවසා ඇත්තේ, මෙම තෙවන මාත්‍රාවක් ලබාදීමේ තීරණය ආපසු හැරවිය යුතු බවත් එන්නත් වැඩි ප්‍රමාණයක් අඩු ආදායම්ලාභී රටවල් වෙත ලබාදිය යුතු බවත්ය.
එළඹෙන සැප්තැම්බර් මාසය වන විට සෑ ම රටක ම ජනගහනයෙන් 10%ක සංඛ්‍යාවකට එන්නත් ලබාගත යුතුව තිබෙන නමුත් අවාසනාවන්ත ලෙස එම ඉලක්කය සපුරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.
හයිටි සහ කොන්ගෝ රාජ්‍යයන්හි ජනතාවට කොවිඩ් එන්නතේ කිසිදු මාත්‍රාවක්වත් ලැබී නොමැති බවත් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් පසුගිය මාසය තුළ ඉතා විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා වූ ඉන්දුනීසියාවේ පවා පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති පිරිස සමස්ත ජනගහනයෙන් 7.9%ක් යැයි ගෝලීය දත්ත අනුව වාර්තා වන බවත් ඔහු පවසා ඇත.
ලෝකයේ ධනවත් රටවල් විසින් දුප්පත් රටවල් වෙත එන්නත් ලබා දිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා දැනුම් දුන් ප්‍රථම අවස්ථාව මෙය නොවේ.
______________________???????________________________________
You may like this video
