16ට අඩු දැරියන් ගැබ් ගන්නේ කාගෙන්ද? සොයා ගැනේ
අවුරුදු දහසයට අඩු බහුතර දැරියන් ගැබ් ගැනීමට හේතු වී තිබෙන්නේ ඔවුන්ගේ ප්‍රේම සබඳතා බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පවසයි.
විශේෂයෙන්ම අවුරුදු දොළහත් දහසයත් අතර දැරිවියන් සහ අවුරුදු දහ අට හෝ දහ අටට අඩු පිරිමි දරුවන් අතර පවතින ප්‍රේම සබඳතා හේතුවෙන් මෙම දැරියන් ගැබ් ගන්නා බව හෙළිවී ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පැවසුවාය.
2023දී අවුරුදු දහසයට අඩු දැරියන් ගැබ් ගැනීමේ සිද්ධි 163ක් වාර්තා වී තිබුණු අතර, 2024දී එම සංඛ්‍යාව 213ක් වී තිබේ. ඉන් බහුතර දැරියන් ප්‍රේම සබඳතා මත ගැබ්ගෙන තිබිණි. විවිධ අතවරවලට ලක්වීමේ ප්‍රතිඵල මත ගැබ් ගත් දැරියන් ද මේ අතර සිටින බව රේණුකා ජයසුන්දර සඳහන් කළාය. මේ වසරේ ගතවූ මාස තුනට වාර්තා වී ඇති සිද්ධීන් සම්බන්ධයෙන් මෙතෙක් නිසි ගණනය කිරීමක් කෙරී නැත.
කෙසේ වෙතත් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා වන සිද්ධීන් සංඛ්‍යාව මෙපමණ වුවත්, වාර්තා නොවෙන සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බව ද ඇය පෙන්වා දුන්නාය.
පවතින නීතිය අනුව අවුරුදු දහසයට අඩු දැරියක සිය කැමැත්තෙන් ලිංගික කටයුතුවල නියැළුණ ද එය සැලකෙන්නේ ලිංගික අපයෝජනයක් ලෙසිනි. එමෙන්ම ගැහැනු සහ පිරිමි යන දෙපාර්ශ්වයටම වයස අවුරුදු දහ අට සම්පූර්ණ වන තෙක් නීත්‍යනුකූල විවාහයක් සඳහා අවසර හිමි වන්නේ ද නැත.
එබැවින් මේ වයසේ පසුවන දැරියන්ට එවැනි අනාරක්ෂිත ලිංගික හැසිරීම්වල නොයෙදෙන ලෙසත්, ගැබ් ගැනීම්වලින් වැළකී සිටින ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීම ඉතා වැදගත් බවත් නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පැවසුවාය.
