ඉන්දුනීසියාවේදී ඇල්ලූ පද්මේ ඇතුළු අපරාධකරුවන්ට වෙන දේ ගැන ආරක්ෂක ඇමති රටට හෙළිකරයි

Crime Latest Headlines Ananda Wijepala Sinhala news gagana news
By Shehan Aug 28, 2025 06:20 AM GMT
Shehan

Shehan

Report

ඉන්දුනීසියාවේ දී සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ව ඉදිරි දින 02-03න තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) උදෑසන පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, වත්මන් රජය ජනතාවට පොරොන්දු වූ පරිදි නීතිය පසඳලීමේ ආයතනවල ස්වාධීනත්වය ඇති කර ඇති බවය.  

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජය ජනතාවට පොරොන්දු වූ පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයේ සිට යුක්තිය පසඳලීමේ ආයතනය දක්වා ස්වාධීනත්වය ඇති කර ඇති බවයි. 

බොහෝ අවස්ථාවලදී සංවිධානාත්මක අපරාධ වර්ධනය වී ඇත්තේ, දේශපාලනඥයින්ගේ ආශිර්වාදයෙන් බවත් ඔවුන්ගේ පැවැත්ම සහ බලය රඳවා ගැනීමට සංවිධානාත්මක අපරාධකරුවන්ව පෝෂණය කර ඇති බවට අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු රජයක් ලෙස ඒ සියල්ල නතර කර ඇති බවත්, මේ වනවිට සංවිධානාත්මක අපරාධකරුවන්ව නිර්මාණය කළ දේශපාලනඥයින් හා ඔවුන්ගේ සබඳතා පිළිබඳ සුපරික්ෂාකාරීව සොයා බලමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එවැනි අයගේ දේපොළ සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන සිදුකරන බවත්, සංවිධානාත්මක අපරාධ රැසකට දේශපාලන සබඳතා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, නුදුරේ දීම ඒ පිළිබඳ අවධාරණය කරන බවත් කියා සිටියේය.

"නීතියට උඩින් කිසිවක් නෑ. කිසිදු තරතිරමක් නීතිය ඉදිරියේ අපිට අදාළ නෑ. නීතිය ඉදිරියේ සියලුදෙනා එක හා සමානයි. මේ සමාජයට අපි ඒක භාවිතයක් විදියට ගේනවා. නීතියට උඩින් කිසිවෙකුටත් ඉන්න අපි ඉඩ තියෙන්නේ නෑ. ඒ ගැන අපි සමාජයට අවධාරණය කරනවා. අපේ තියෙන දේශපාලන උවමනාව තමා රටට යුක්තිය, සාධාරණත්වය ලබාදීම.

ඒ වගේම නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම හා නීතිය සැමට සමානයි යන පණිවුඩය සමාජයට ලබාදීම. ප්‍රමිතිගත සමාජයක් බවට පත්කර ගැනීම තුළින් තමා අපි සියලුදෙනාට සතුටින් ජීවිත් විය හැකි වන්නේ.

ඒ නිසා අපි පොරොන්දු වු පරිදිම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සමාජයට ලබාදීමේ කර්තව්‍යයේ නියැලෙනවා. ඒ කරුණු අතර අපිට සුවිශේෂි වෙනවා සංවිධානාත්මක අපරාධකරුවන් නීතියට කොටු කරගැනීම. මේ වෙනවිට 75කට ආසන්න ප්‍රමාණයකට රතු වරෙන්තු නිකුත් කරලා තියෙනවා. එයින් 20 අධික ප්‍රමාණයක් ලංකාවට අරන් ඇවිත් තියෙනවා.

ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙමින් තියෙනවා. දැනට ඉන්දුනීසියාව භාරයේ ඉන්න අයව මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිනවා. ඔවුන්ව මෙරටට ගෙන ආ පසු ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපි පාතාලය වේවා, දේශපාලනඥයින් වේවා, පොලීසිය වේවා, නිලධාරීන් වේවා සියලුදෙනාට නීතිය යටත්, නීතිය ක්‍රියාත්මක රටක් බවට අපි පත්කරනවා. බලය භාවිත කරමින් සමාජයේ හැසිරීමට අපි ඉඩදෙන්නේ නෑ"