අදත් පස්වරුවේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

By Aylin Zoya Aug 17, 2026 01:23 AM GMT
Report

අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය. බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන් වේ.

එමෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතී.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.