“බංකොලොත් රටක් අපි භාරගත්තේ… ලබන වසරේ IMFයෙන් මිදෙනවා” - ඇමති හිනිදුම සුනිල් සෙනවි
ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පවතින වැඩසටහනෙන් ඉවත්ව ශ්‍රී ලංකාවට ස්වාධීන ආර්ථික ගමනක් යාමට හැකි වනු ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසනවා.
ජාතික ජන බලවේගයේ පාලනය යටතේ වසර දෙකක් තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ සිදුකර ඇති සංවර්ධන ප්‍රගතිය පිළිබඳව පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඔහු පැවසුවේ වත්මන් ආණ්ඩුව රට භාරගන්නා අවස්ථාවේදී ශ්‍රී ලංකාව නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කර තිබූ අතර, ණය ගෙවීම්ද නිල වශයෙන් අත්හිටුවා තිබූ බවයි.
එම තත්ත්වයන්ට විසඳුම් ලබාදීමට වත්මන් ආණ්ඩුව සමත්ව ඇති බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම, ජනවරමේ ප්‍රධාන ඉල්ලීමක් වූ නීතියේ ආධිපත්‍යය සහ නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුව ප්‍රමුඛත්වය ලබාදී ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.
රට ආර්ථික අර්බුදයට ඇද දැමීමට වගකිව යුතු බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් සහ මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒම සම්බන්ධයෙන්ද ජනතාවගේ ප්‍රසාදයක් පළවෙමින් ඇති බව ඔහු සඳහන් කළා.
තම ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහනකට බැඳී සිටි බව සඳහන් කළ අමාත්‍යවරයා, ලබන වසර වනවිට එම වැඩසටහනෙන් ඉවත්ව ස්වාධීන ආර්ථික ගමනක් යාමට හැකි වනු ඇති බව ප්‍රකාශ කළා.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය මෙන්ම පැහැර හැර ඇති බවට සඳහන් වන බදු ආදායම් නැවත අයකර ගැනීම හරහා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට හැකි වී ඇති බවද හිනිදුම සුනිල් සෙනවි මහතා වැඩිදුරටත් සඳහන් කළා.