''වාර්තා වන රෝගීන් මෙන් තුන් ගුණයකට වැඩි පිරිසක් සමාජයේ ඉන්න පුළුවන්''..?
කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොක්ඩවුන් කිරීම, ඇඳිරි නීතිය පැනවීම හෝ සංචරණ සීමා පැනවීම කියන දේවලට වඩා අවශ්‍ය වන්නේ ඒකරාශී වීම් වළක්වා ගැනීම බවත් එහෙයින් අනවශ්‍ය ගමන් බිමන් යෑම, සාද පැවැත්වීම වැනි ඒකරාශී වීම් වළක්වා ගත යුතු බවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.
මේ වනවිට පසුවන්නේ තීරණාත්මක අවස්ථාවක වන හෙයින් කොරෝනා රෝගය තමන්ට වැළඳීම වළක්වා ගැනීම වගේ ම තමන්ට වැළඳුණොත් පවුලේ අයට, හිතවතුන්ට එය බෝ නොවන ලෙසත් කටයුතු කිරීම වැදගත් වන අතර අත්‍යවශ්‍ය දෙයකට හැර නිවසින් බැහැරට නොයන ලෙස විජේවික්‍රම මහතා ඉල්ලීමක් කරයි.
ඊයේ (අගෝස්තු 15දා) කොළඹ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා මෙසේ පැවසීය. අත්‍යවශ්‍ය කටයුත්තකට බැහැරට යන්නේ නම් නිසි ලෙස මුව ආවරණය පැළඳීම, සමාජ දූරස්ථභාව තබා ගැනීම, නිතර අත් පිරිසුදුව තබා ගැනීම සිදුකරන ලෙස විජේවික්‍රම මහතා කියා සිටී. වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේ ද පැවැසීය.
"වසංගතවේදය අනුව කොහොමත් වාර්තා වෙන රෝගීන්ට වඩා මේ වෙද්දී තුන්ගුණයකට වැඩි පිරිසක් සමාජයේ ඉන්න පුළුවන්. මොකද පරීක්ෂණ කරන පිරිසෙන් තමයි පොසිටිව් අය වාර්තා වෙන්නේ. තව රෝග ලක්ෂණ නැති අය වගේ ම පරීක්ෂා නොකරන අය ඉන්න පුළුවන්. කොහොමත් රෝග ව්‍යාප්තිය පාලනය කරන්න එකිනෙකා හමුවීම නතර කරන්න වෙනවා. ඩෙල්ටා ප්‍රභේදය හමුවීමත් සමග වාර්තා වෙන රෝගීන් වැඩි වී තිබෙනවා. මීට පෙර වගේ නෙවෙයි රෝග ලක්ෂණ තිබෙන සංකූලතා තිබෙන අය වැඩියි. ආසාදිතයන් වැඩි වුණාම මරණ වැඩි වෙනවා. සංකූලතා වැඩි වූ විට ඔක්සිජන් දෙන්න වෙනවා. නිවසේ සිටියදී කැස්ස සමග හුස්ම ගැනීමේ අපහසුවක් තිබෙනවා නම් ඉක්මනින් රෝහල් ගත විය යුතුයි. එසේ නොකර නිවසට වී සිට තදබල ලෙස හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වූ විට පමණක් නම් රෝහලට එන්නේ එතැනදී ජීවිතය බේරාගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා කැස්ස සමග හුස්ම ගැනීමේ අපහසුවක් දැනෙනවා නම් ඉක්මනින් රෝහලකට පැමිණිය යුතුයි. මරණ අඩු කර ගන්න නම් රෝගීන් අඩු කර ගන්න අපිට සිද්ධ වෙනවා. මෙය ව්‍යාප්ත වීම වළක්වා ගන්න යැයි අපි කියන්නේ ඒ නිසයි."
තව ද මෙම වසර අවසාන වනවිට මෙරට කොරෝනා මරණ 18,000ක් පමණ වාර්තා විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට කාර්යාලය සිදුකර තිබුණු පුරෝකථනය ගැන ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.
"පුරෝකථන ඉදිරිපත් කරන්නේ ක්‍රමවේදයකට අනුවයි. මේ පුරෝකථන ඇත්ත කරනව ද? බොරු කරනවද කියා තීරණය තියෙන්නේ ජනතාව මතයි. රජය විවිධ ආයතන වගේ ම ජනතාවත් හරියට වැඩ කළොත් මේවා බොරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්ත වෙයි," යනුවෙන් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |