වධහිංසා කරනවනම් මානුෂීය නොවන දඬුවම් දෙනවනම් අපි කිසිම බුරුලක් දෙන්නෑ - ඇමති විජිත [PHOTOS]

Report

වධහිංසා පැමිණවීම් සහ මානුෂීය නොවන දඬුවම් ලබාදීම් සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකා රජය පැහැදිලිවම කිසිදු බුරුලක් නොදක්වන ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක් දැඩිව අනුගමනය කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

ලංකාවේ විශේෂ නිල සංචාරයක නිරත වන එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුවේ විශේෂ සිව්පුද්ගල උසස් නියෝජිත පිරිස අද 15 වැනිදා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැති විශේෂ නිල වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

මෙම විශේෂ නියෝජිත පිරිස ජූනි 15 වැනිදා සිට ජූනි 24 වැනිදා දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය. මෙහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ වධහිංසා පැමිණවීම් මුළුමනින්ම වැළැක්වීමේ රජයේ ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාදායක, පරිපාලනමය සහ ආයතනික ආරක්ෂණ පියවර රැසක් මේ වන විටත් මෙරට තුළ ගෙන ඇති අතර ඒවායේ සමස්ත ප්‍රගතිය අඛණ්ඩව ඉදිරියට යමින් පවතින බවයි.

ශ්‍රී ලංකාව ප්‍රධාන ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් නවයටම පාර්ශවකරුවෙකු වූ රාජ්‍යයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම සංචාරය හරහා ස්වේච්ඡාවෙන් භාරගත් බැඳීම්වලට අනුකූල වීම ශක්තිමත් කිරීමට රජයට ඇති කැපවීම මනාව පිළිබිඹු වන බව සඳහන් කළේය.

එමෙන්ම, මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, නීතියේ ආධිපත්‍යය සුරැකීමටත්, යහපාලනය ශක්තිමත් කිරීමටත් රජය සතු නොසැලෙන කැපවීම ඔහු මෙහිදී නැවත වරක් ස්ථිර කර සිටියේය.

ශ්‍රී ලංකා රජය මෙම අනුකමිටුව සමඟ විවෘත, ඉදිරිගාමී සහ විනිවිදභාවයෙන් යුත් ආකාරයකින් කටයුතු කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම සියලු කටයුතු සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව 2017 වසරේ දෙසැම්බර් මාසයේදී වධහිංසාවට සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලිවලට හෝ දඬුවම්වලට එරෙහි සම්මුතියේ විකල්ප ප්‍රොටෝකෝලයට අත්සන් තැබීමෙන් පසුව, එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුව මීට පෙර 2019 අප්‍රේල් මාසයේදී සිය ප්‍රථම සංචාරය මෙරටට සිදු කළේ ය.

එහි දෙවන සංචාරය ලෙස ​​අයිෂා ෂුජූන් මුහම්මද්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පැමිණි මෙම දූත පිරිස සමඟ පැවැති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද සහභාගි වූහ.

එමෙන් ම අදාළ රේඛීය අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

GalleryGalleryGalleryGallery