"..වික්ටර් ජීවත් වෙන්නෙ පැය 48යි කීවාම.." - වික්ටර්ගේ ආදරණීය බිරිඳ හසිනි, මෙතෙක් නොකියූ සංවේදී කතාව..(PHOTOS)

Sri Lanka Gossip Today
By Sewvandhi Sep 24, 2022 04:18 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පෙරට වඩා අද වික්ටර් රත්නායකයන් වෙනස් යැයි මා කිවහොත් කවුරුත් ඊට උරනු නොවනු ඇත. ඒ පෙරටත් වඩා අද වන විට වික්ටර් අඩුවෙන් තරහා යාම හා ඉවසීමේ ගුණය ප්‍රගුණ කර තිබීමයි. මම ඒ ගැන ඇසූ විට ඔහු ඊට පිළිතුරු දුන්නේ ද මදහසපාමිනි.

“අපි මුහුකුරා යන්න යන්න ඉවසීම ප්‍රගුණ කරන්න ඕනෑ. ආවේග පාලනය කරන්න ඕනේ. ගත වියපත් වෙද්දි සිතින් තරුණ වෙන්න පුළුවන් නම් ගතත් ඊට අනුරූප වෙනවා. අපිට අහිමි වූ දේවල් ගැන නොසිතා ලද දෙයින් සැනසෙන්න ඕනේ. අපි කාටවත් කරදරයක් කරන්නෙ නෑ. අපිට මොනතරම් ගල්මුල් එල්ල වුණත් උපේක්ෂාවෙන් ඉවසනවා. අපි දෙන්නා ප්‍රශ්න ගැන, අහිමි වූ දේවල් ගැන, නැතිවූ දේවල් ගැන කථා කරන්නෙ, ශෝක වෙන්නෙ, තැවෙන්නෙ නැහැ. එදිනෙදා ගතකරන ජීවිතය විඳවන්නේ නැතුව සතුටින් විඳිනවා“ අපේ හමුවිමට ආරම්භයක් දෙමින් වික්ටර් පැවැසීය.

ගෙවී ගිය යුගය සිහි වේ. හදීසියේම රෝගී වූ වික්ටර් රත්නායකයන් එයින් ටික කලක් පීඩා විඳීය. ඒ යුුගය ගැන සිහිපත් කළ හෂිනි අද ද එදා ගැන සිහිකරන්නේ දෑසේ කඳුළු රඳවා ගනිමිනි.

“රෝහල් දෙකක, ලංකාවේ හොඳම විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ සුවිශේෂ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කළේ. වික්ටර් ජීවත් වෙන්නෙ පැය 48යි කීවාම මගෙ මුළු ලෝකයම කඩා වැටුණා වගේ. එදා පටන් ළඟින් හිටිය අපිව අත් නොහරියි කියා හිතපු සමහර අය අපව අතැර ගියාට අපි බලාපොරොත්තු නොවූ සමහරු අපට පුදුම විදිහට උදව් කළා. වික්ටර්ගේ ජීවිතය බේරාගන්න මගෙ වාහනය විතරක් නෙමේ සන්තකයම වුණත් අහිමි වෙන එක ගැන මම දෙවරක් හිතුවෙ නැහැ. රෝහලේදී මාස ගණනාවක් මම වික්ටර්ගේ ළඟට වෙලාමයි හිටියේ. සාමාන්‍යයෙන් එවැනි රෝගී තත්ත්වයකින් පසු හැම දෙයක්ම යළි ප්‍රකෘති තත්ත්වයකට පත්වන්නේ ක්‍රම ක්‍රමයෙන්. අපි වෛද්‍ය උපදෙස් නිවැරදිව පිළිපැද්දා. කටහඬත් ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් සුපුරුදු තත්ත්වයට පත් වුණා. අපි අදහන ආගමත් අපිට පිහිට වුණා. අදටත් මම ඔහු ගැන සොයන බලන එක, අත්හැරලා නැහැ. කවුරු මොන දේ කිව්වත් මමයි ඔහුයි බොහෝම සතුටින් ජීවත් වෙනවා. මොනදේ වුණත් අපිට අපි ඉන්නවා.“

හසිනි පවසන්නේ ඒ යට ගියාව ගැනය. හැම විටම තමන් ගැන සොයා බලන සහකාරියක ලැබීම ගැන වික්ටර් රත්නායකයන් පසුවන්නේ සතුටින්. රෝගීව සිටි කාලයේ තමන් ගැන සොයා බැලු ඇය ගැන මෙන්ම තම ඥාති හිතවතුන් ගැන ඔහුට ඇත්තේ කෘතගුණයකි.

“මම අසනීප වූ යුගයේ මගේ සහෝදර සහෝදරියන්, හෂිනිගේ මව, පියා ඇතුළු ඒ සහෝදර සහෝදරියන් අප වටා නිරන්තරයෙන් රැඳී සිටිමින් අපගේ දුක සැප බැලුවා. මගේ ආහාර පාන, ඇඳුම් පැලඳුම්, බේත් හේත් හැම දෙයක්ම ළඟින් ඉඳන් කැපවීමෙන් සිදුකළේ හෂිනි. අදටත් ඒ සොයා බැලිල්ලේ කිසිම වෙනසක් මට දැනේනේ නැහැ. ඒ තරමට ඇය මා ගැන බලනවා. හෂිනිගේ සොයා බැලිල්ල ගැන වෙලාවකට මට තරහත් යනවා. ඇය හරිම ආදරණීය කෙනෙක්“. වික්ටර් පවසන්නේ හසිනි දෙස ආදරණීය බැල්මක් හෙළමිනි.

ගෙවු කොරෝනා හා අරගල සමයේ වෛද්‍ය ප්‍රතිකාරයකට හැරෙන්නට කිසිම තැනක නොගියත් අතුරුගිරිය නිවසේ විවේකීව සිටිමින් ගීත නිර්මාණකරණ සඳහා නවක පරපුරට අතහිත දීමට රත්නායකයන් විශාල කාලයක්, ශ්‍රමයක් හා දැනුමක් කැප කළේය. නවක ගායන ශිල්පීන් හා ශිල්පිනියන් 20 පමණ ගීත සත්සර හා මුසුකළේ ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයෙනි.

“නව පරපුරේ බහුතරයක් ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් යුත් ගීත කලාව විනාශ කළා. බටහිර, හින්දුස්ථානී හා දෙමළ ගීතවලට අනුගත වෙමින්. හැබැයි ප්‍රවීණයන්ගේ වගකීම තමයි ආධුනිකයන්ට නිවැරදි මඟ පෙන්වා දීම හා දැනුම්වත් කිරීම.“ ගෙවුණ ඒ හෝරා කිහිපය සැබැවින්ම සොඳුරුය. ආගිය කතා කතා කරමින් සිටි අප සමුගන්නට සැරසුනෙමු. වික්ටර්ගේ හා හසිනිගේ බැඳිම ඔවුන්ට අලුත් ජීවිතයක් රැගෙන විත් ඇත. මට මේ මොහොතේ සිහි වන්නේ කලකට පෙර හසිනි මා හා කී කතාවකි.

“මම කුඩා කාලයේ සිටම වික්ටර්ගේ සිංදු වලට හරිම කැමතියි. ඔහුගේ ගී හඩ මගේ හිත සුවපත් කරනවා.“ සිහිල් සුළං රැල්ලේ, තනි වෙන්නට මගේ ලොවේ, ඔබෙ දෙතොල් පෙති ලිහි, ප්‍රේම පාරාදීසයේ, අපි ඈතට ඈතට පා නගලා, තනි තරුවේ, ආදි වූ ගී එදත් අදත් හෙටත් ශ්‍රාවක සිත් සනසන ගීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGalleryGalleryGallery
ReeCha