ධර්මය විකෘති කරන පිරිසක් සිවුරු පොරවාගෙන ඉන්නවා ලොකු විනාශය අත්විඳීමට සිදුවේවි - ඕමල්පේ සෝභිත හිමි
උදාවන අනාගත පරපුර උදෙසා වෙසක් උත්සවයේ නියම අගය ගිහි පැවිදි දෙපාර්ශ්වයම එක්ව සුරක්ෂිතව දායාද කිරීමේ ප්‍රබල අභියෝගයකට අප වර්තමානයේ මුහුණ දී සිටින බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අවධාරණය කරති.
අද (27) පැවැති ජාතික වෙසක් දින නිල සැමරුම් උත්සවය අමතමින් උන්වහන්සේ කියා සිටියේ, වර්තමානයේ සිදුවන වැරදි සහ අඩුපාඩු දැන්ම නිවැරදි කර නොගතහොත් බෞද්ධයන්ට සමස්ත අනාගතයම අහිමි වී යාමේ දැඩි අවදානමක් පවතින බවයි.
දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් විශාල වශයෙන් ධන පරිත්‍යාග ලබන, ඉතා සංවිධානාත්මක දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන බලවේග රැසක් බුදුදහම සහ ශාසනය විනාශ කිරීමේ දැඩි කුමන්ත්‍රණයක නිරතව සිටින බව උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.
එමෙන්ම, බුදු සසුනේ පිරිහීම ළඟා කරනු පිණිස ශාසන විනය කෙලෙසන, සද්ධර්මය විකෘති කරන මෙන්ම බෞද්ධ දේපළ අවභාවිත කරන පිරිස් සිවුරු පොරවාගෙන භික්ෂූන් ලෙස පෙනී සිටිමින් මෙම ව්‍යසනයට ඇතුළතින්ම දායක වන බව ද උන්වහන්සේ කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කළහ.
පවතින මෙම භයානක ශාසනික පරිහාණිය වැළැක්වීම සඳහා රජය සහ වගකිවයුත්තන් සක්‍රීයව මැදිහත් විය යුතු බව සෝභිත හිමියෝ මතක් කර සිටිති.
විශේෂයෙන්ම 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතේ 41 සහ 42 යන වගන්ති මහා සංඝරත්නයේ උපදෙස් පරිදි කඩිනමින් සංශෝධනය කර, මෙරට තුළ බලවත් සංඝාධිකරණයක් නීත්‍යානුකූලව ක්‍රියාත්මක කරන තෙක් ශාසනයට සිදුවන මෙම විනාශකාරී බලපෑම් නතර කළ නොහැකි බව ද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.