කොවිඩ්වලින් ආරක්ෂාවීමට එන්නත පමණක් ප්‍රමාණවත් නෑ.

Covid-19 Corona Vaccine
By Thaya Feb 26, 2021 05:55 PM GMT
Report

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් පමණක් කොවිඩ් වෛරසයෙන් සම්පුර්ණයෙන් ආරක්ෂා වියහැකි බවට මෙතෙක් සාධක කිසිවක් ඉදිරිපත් වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

"මේ දක්වා සියයට සීයක්ම අපිට සාධක නෑ, මේ එන්නත ලබාදුන් පමණින්ම කෙනෙකුට මේ රෝගය වැළඳීම සම්පූර්ණයෙන්ම නැතිවෙනවා.., එයා සම්පූර්ණයෙන්ම රෝගයෙන් ආරක්ෂිතයි කියලා. වැදගත් දේ තමයි එන්නත ගත්තු සියලුම දෙනාත් එන්නත නොගත්තු සියලුම දෙනාත් අපි මේ අනුගමනය කරන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග දිගින් දිගටම පිළිපදින එක. එන්නත ලබා ගත්තා කියලා ඒවා ලිහිල් කරන්න හැකියාවක් නෑ." යනුවෙන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ, "දුම්පානය සහ මත්පැන් පානය කිරීමෙන් සියලුම ජනතාව වැළකිය යුතුයි. ඒවා අපේ සෞඛ්‍යට සුදුසු නෑ. නමුත් එන්නත් ලබාගැනීමේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ මේ ඖෂධ නිෂ්පාදනය කළ පර්යේෂණ ආයතන හෝ වෙනත් විශේෂඥ වෛද්‍යවරු හෝ කිසිම කෙනෙක් කොහෙවත් කියලා නෑ එන්නත ලබාගැනීමට මත්පැන් පානය කිරීම හෝ දුම්පානය කිරීමේ පුරුදු පැවතීම එන්නත ලබාගැනීමට යම්කිසි විදිහකින් බාධාවක් කියලා."