ඛේදවාචකයක් - දරුවෝ තුන්දෙනා පරිස්සමට ඇරලවලා සුරතල් සතුන් ගේන්න ගිය අම්මයි තාත්තයි පොළොවට පස් වෙයි
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය නිසා දරුවන් තිදෙනෙකුට සිය මව සහ පියා අහිමි වූ අනුවේදනීය පුවතක් ඌව පරණගම හාගිලි ඇල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
එම දරුවන් මේ වන විට සිය මාමාගේ නිවසේ දිවි ගෙවන අතර ඔහු ඉල්ලා සිටින්නේ දරුවන්ගේ ජීවිතය සුරක්ෂිත කිරීමට උපකාර සිදු කරන ලෙසයි.
පසුගිය දින කිහිපයේ දිවයිනට බලපෑ අධික වර්ෂාපතනයත් සමඟ උමා ඔයේ ජලය වැඩි වී ඇති වූ සැඩ පහර නිසා ඌව පරණගම හාගිලි ඇල්ල ප්‍රදේශයේ පස් කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් මෙම අනුවේදනීය සිදුවීම සිදුව ඇත.
ඉකුත් 27 වන දින සිදු වූ මෙම නායයාමෙන් මුළු නිවසම පස් යට සැඟව ගොස් තිබෙනවා.
මෙම නායයාමට පෙර ඇති වූ වර්ෂාවත් සමඟ තම දරුවන් තිදෙනා ඥාති නිවසකට ඇරලවා මව සහ පියා යළි තම නිවසට ගොස් ඇත්තේ නිවසේ සිටි සතුන්ට ද සිය සිතේ තිබූ දයාව හේතුවෙන්.
එහෙත් රුදුරු වූ ජල කඳ පස් කන්දද සමඟ කඩා වැටී ඇත්තේ ඔවුන් දෙදෙනා ද යටකර දමමින්.
අනතුරුව දින කිහිපයකට පසුව සැමියාගේ සිරුර හමුවුවත් බිරිඳගේ සිරුර තවමත් හමුවී නොමැති බව වාර්තා වේ.
ඔවුන්ගේ මාමා පවසන්නේ දෙමව්පියන් නොමැතිව තනිවී සිටින මෙම දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට උපකාර අවැසි බවයි.