වසර 24ක් පුරා මෙරට බිම්බෝම්බ ඉවත් කරන්න අමෙරිකාවෙන් ඩොලර් මිලියන 130ක්
ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුම් සඳහා පසුගිය වසර 24ක කාලය තුළ අමෙරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 130කට අධික මුදලක් ආධාර ලෙස ලබාදී තිබේ.
එම ආධාර හේතුවෙන් මෙරට බිම්බෝම්බ අවදානම සියයට 90කින් අඩු කිරීමට හැකි වී ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මයර්ස් මහතා සඳහන් කළේය.
ඊයේ (28) පැවති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ආධාර සපයන පාර්ශ්වයන්ගේ සමුළුව (Demining Donors Conference) අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මයර්ස් මහතා පෙන්වා දී ඇත්තේ, බිම්බෝම්බ ඉවත් කිරීම හරහා භූමි ප්‍රදේශ ආරක්ෂිත වීමෙන් අවතැන් වූ පවුල්වලට යළි සිය නිවෙස් වෙත පැමිණීමටත්, ගොවීන්ට නැවත තම වගාබිම්වල කටයුතු කිරීමටත් අවස්ථාව උදා වී ඇති බවයි.
එමෙන්ම, දරුවන්ට බියෙන් තොරව නිදහසේ ක්‍රීඩා කිරීමට ද එමඟින් අවස්ථාව සැලසී ඇති බව ඔහු සඳහන් කළේය.
ඵලදායී අමෙරිකානු විදේශ ආධාර සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතාගේ දැක්ම මෙම ප්‍රගතිය තුළින් පිළිබිඹු වන බව ද මයර්ස් මහතා පැවසීය.
පැහැදිලි අරමුණු, මැනිය හැකි ප්‍රතිඵල සහ නිශ්චිත අවසන් ඉලක්කයක් කරා යන වැඩපිළිවෙළක් එම දැක්මට ඇතුළත් වන බව පෙන්වා දුන් ඔහු, ඉතිරිව ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලදී ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතු බව ද අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්වීමේ ඉලක්කය සපුරා ගැනීම, මෙරට ජනතාවට පමණක් නොව අමෙරිකානු ආධාර සහ ශක්තිමත් දේශීය හවුල්කාරිත්වයන් තුළින් අත්කර ගත හැකි ප්‍රගතියට ද වැදගත් සාක්ෂියක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මානුෂීය මෙහෙවරේ අවසන් අදියරට ශ්‍රී ලංකාව නායකත්වය දෙනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව බව ද මයර්ස් මහතා ප්‍රකාශ කළේය.