ජීවිතය බේරාගත් මහා පරිත්‍යාගය- පොලිස් ආරක්ෂාව මැද හදවත රැගෙන ආ සංවේදී මෙහෙයුම මෙන්න
කොළඹ ජාතික රෝහලේදී 14 හැවිරිදි පිරිමි දරුවෙකුට සාර්ථක හෘද බද්ධ කිරීමේ සැත්කමක් සිදුකර තිබේ.
ඒ සඳහා අනතුරකින් පසු මොළය මියගිය 19 හැවිරිදි තරුණයෙකුගේ හදවත පරිත්‍යාග කර ඇත. පසුගිය නොවැම්බර් 26 වැනිදා සිදුකළ මෙම සැත්කම, ශ්‍රී ලංකාවේදී සිදුකළ තුන්වැනි හෘද බද්ධ කිරීමේ සැත්කම ලෙස සැලකේ.
හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් එය සිදුකර තිබේ.
හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම දරුවාගේ හදවත දැඩි ලෙස දුර්වල වී තිබූ අතර, කඩිනමින් හෘද බද්ධ කිරීමක් සිදු නොකළේ නම් දින කිහිපයක් ඇතුළත ජීවිතය අහිමි වීමේ අවදානමක් පැවති බව වාර්තා වේ.
මේ අතර, ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අනතුරකින් මොළය මියගිය 19 හැවිරිදි තරුණයාගේ පවුලේ සාමාජිකයන් ඔහුගේ හදවත පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කර තිබේ.
එම හදවත කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට සැලසුම් කර තිබුණද, අයහපත් කාලගුණය සහ අධික වර්ෂාව හේතුවෙන් හෙලිකොප්ටරයකින් ප්‍රවාහනය කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත.
ඒ අනුව, පොලිසියේ සහාය ඇතිව මාර්ගයෙන් හදවත ප්‍රවාහනය කර තිබේ. එහිදී ගම්පහ සිට කොළඹ දක්වා ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා විශේෂ ආරක්ෂක රථ පෙළක සහාය ලබාදී ඇත්තේ නියමිත වේලාවට එය රෝහල වෙත ළඟා කරවීම සඳහාය. සවස 5.00ට පමණ ආරම්භ වූ සැත්කම පැය හතකට අධික කාලයක් පුරා මධ්‍යම රාත්‍රිය දක්වා පැවති බව වාර්තා වේ.
සැත්කමෙන් පසු හෘදය බද්ධ කළ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද සඳහන් වේ. මීට පෙර මහනුවර රෝහලේදී මෙරට පළමු හෘද බද්ධ කිරීමේ සැත්කම සිදුකර තිබූ අතර, මෙම සැත්කම ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.