විශේෂ දැනුම්දීමක් - හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයට පරිපාලන සේවා සංගමයේ සහාය නෑ
රජයේ විධායක නිලධාරීන් විසින් පසුගිය 20 වැනිදා ක්‍රියාත්මක කළ එක්දින සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයට මෙන්ම, වැටුප් විෂමතා මුල් කරගනිමින් විවිධ වෘත්තීය කණ්ඩායම් විසින් හෙට (30) ප්‍රකාශයට පත්කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා ද සහාය නොදැක්වීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ, වර්තමාන ආර්ථික හා සංවර්ධන අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින් වැටුප් හා දීමනා සංශෝධනය සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයකින් පසු සැකසූ සාධනීය යෝජනාවලියක් මේ වන විටත් වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවයි.
සමස්ත රාජ්‍ය සේවයම කාර්යක්ෂම හා ඵලදායී ලෙස කළමනාකරණය කළ හැකි පරිදි එකී කොමිසම මගින් වැටුප් සංශෝධන සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද සංගමය පවසයි.
එවැනි පසුබිමක් තුළ, මහජන සේවාවන් අඩපණ වන අයුරින් කටයුතු කිරීමට හෝ රටේ ආර්ථිකයට හානි වන වෘත්තීය ක්‍රියාමාර්ගවලට සහාය දැක්වීමට රාජ්‍ය පාලනයේ ප්රමුඛ සේවාව ලෙස තම සංගමය කටයුතු නොකරන බව අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, වැටුප් කොමිෂන් සභාව පත්කර තිබියදී එහි නිර්දේශ නොමැතිව විවිධ පාර්ශ්වයන්ට අවිධිමත් ලෙස සහන ලබා දීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තම බලවත් නොසතුට පළ කරන බව ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.