බෙර වාදන ශිල්පී දුෂ්මන්තගේ අතුරුදන් වීම ඝාතනයක් - පහරදී මරා ඇළ ඉවුරක වළ දමා තිබියදී සියළු තොරතුරු එළියට
මහනුවර මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි බෙර වාදන ශිල්පියෙකු වන දුෂ්මන්ත සඳරුවන් අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳව පොලිසිය කළ විමර්ශනවලදී ඔහු ඝාතනය කර වළ දමා ඇති බව අනාවරණ වී තිබෙනවා.
දුෂ්මන්ත පසුගිය නොවැම්බර් 22 වැනිදා පස්වරුවේ සිය නිවසින් පිටත්ව ගොස් තිබුණේ කැස්බෑව ප්‍රදේශයේ පදිංචි මංජු නමැති මිතුරෙකු හමුවීමට යන බව බිරිඳට පවසමින්.
කෙසේ වෙතත්, පසුදා පස්වරුව වනතුරුත් සැමියා පිළිබඳ තොරතුරක් නොලැබීම නිසා ඔහුගේ බිරිඳ නොවැම්බර් 23 වැනිදා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
පසුව ඇය කැස්බෑව ප්‍රදේශයට ගොස් මංජු නමැති මිතුරා හමුවී සැමියා පිළිබඳ විමසා තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ දුෂ්මන්ත තම නිවසට නොපැමිණි බවයි.
ඒ අනුව, නොවැම්බර් 26 වැනිදා ඇය කැස්බෑව පොලිසියට ද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එම පැමිණිල්ල අනුව මංජු සහ තවත් කිහිපදෙනෙකු පොලිසියට කැඳවා ප්‍රකාශ ලබාගෙන තිබුණත්, ඒ වනතුරු දුෂ්මන්ත පිළිබඳ තොරතුරක් සොයාගැනීමට හැකි වී තිබුණේ නැහැ.
මේ අතර, දුෂ්මන්තගේ බිරිඳට නාඳුනන පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබුණා. එහිදී රුපියල් 120,000ක මුදලක් බැංකු ගිණුමකට තැන්පත් කළහොත් දුෂ්මන්ත නිදහස් කරන බව පවසා තිබෙනවා.
දුෂ්මන්ත අතුරුදන් වී දින හයක් ගතවූ පසු, එනම් පසුගිය 28 වැනිදා රාත්‍රියේ කැස්බෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් තොරතුරක් ලැබී තිබුණා.
එම තොරතුරට අනුව දුෂ්මන්තව මංජු සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවට අනාවරණ වී තිබෙනවා. බිරිඳට පැවසූ පරිදිම මංජුගේ නිවසට ගිය දුෂ්මන්ත පසුව හෙරළියාවල ප්‍රදේශයේ දේවාලයක පිටුපස කාමරයකට රැගෙන ගොස් තිබුණා.
එහිදී පොලු මුගුරුවලින් පහරදී ඔහු ඝාතනය කර ඇති බවයි පොලිසියට ලැබුණු තොරතුරුවලින් අනාවරණ වී ඇත්තේ. පසුව ඔහුගේ සිරුර බෑගයකට දමා, ඝාතනය සිදුකළ ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ඇළ ඉවුරක වළ දමා ඇති බවද හෙළි වී තිබෙනවා.
මෙම තොරතුරු ලැබීමත් සමඟ පොලිසිය කඩිනමින් විමර්ශන ආරම්භ කර ඇති අතර, දුෂ්මන්ත සිය යතුරුපැදියෙන් මංජුගේ නිවස දෙසට යන ආකාරය දැක්වෙන CCTV දර්ශන ද සොයාගෙන තිබෙනවා.
ඒ අනුව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මංජු සහ තවත් පුද්ගලයෙකු කහපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, දේවාලයේ කපුවා හෙරළියාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුෂ්මන්ත පැමිණි යතුරුපැදිය සහ ඔහුගේ ගමන් මල්ල ද සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇති බව සඳහන්.
ඝාතනයෙන් පසුව යතුරුපැදිය වෙනත් ස්ථානයක සඟවා තැබීමට රැගෙන ගොස් තිබෙනවා. එමෙන්ම ඝාතනය සිදුවන ආකාරය දෙවැනි සැකකරු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර පසුව එය මකා දමා ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.
අදාළ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, දුෂ්මන්තගේ සිරුර අද (29) ගොඩගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කරනවා.
කැස්බෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.