කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට හා ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට කඩිනම් පියවර.

Covid Virus
By Thaya Jan 07, 2021 10:27 PM GMT
Thaya

Thaya

Report

රත්නපුර ශික්ෂණ රෝහල තුලින් කොවිඩ් වෛරසය ආසාදිත වූවන් වාර්තා වීමත් සමග වෛරසය පාලන වැඩපිළිවෙල ශක්තිමක් කිරීමට ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබද අවධානය යොමු කළඅතර හදිසි ප්‍රතිකාර ධාරිතාවය සහ කොවිඩ් පරීක්ෂණ කටයුතු ඉහළ නැංවීමටත්, රෝගීන් කළමණාකරණය කර ගනිමින් රෝහලේ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් අවශ්‍ය උපදෙස් රෝහලේ නිලධාරීන්ට ලබා දෙන ලදි. රෝහල් කාර්ය මණ්ඩලය වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සදහා වන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පියවර ගෙන තිබේ.

සබරගමුව පළාතේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙක තුළ වෙසෙන ජනතාවට ප්‍රතිකාර සේවාවන් සපයන ප්‍රධාන රෝහල වන රත්නපුර ශික්ෂණ රෝහල කොවිඩ් වෛරසයෙන් තොර කලාපයක් බවට පත් කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම, වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගනිමින් සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සහ රෝහල සංවර්ධනය කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, රත්නපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුජ රොද්‍රිගෝ මහතා ඇතුලු රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සහ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද දින (07) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

කොවිඩ් ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදු කරනු ලබන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල කිසිදු හිඟයකින් තොරව මේ වන තෙක් ලබා දී ඇති බැවින්, ඉදිරියටත් හිඟයකින් තොරව එම පරීක්ෂණ කට්ටල ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. එමෙන්ම හදිසි සේවා අවශ්‍යතාවය මත රෝහලට තවත් පී.සී.ආර් යන්ත්‍රයක් ලබාදීමට කටයුතු සිදු කරමින් පවතින බැවින් දැනට සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ ධාරිතාවය ඉහළ නැංවීමට Extraction යන්ත්‍රයක් ලබාදීමටත්, වෙන්ටිලේටර් යන්ත්‍ර 05 ක්, high flow oxygen යන්ත්‍ර 07 ක් කඩිනමින් ලබාදීමට එකගතාවයකට පැමිණෙන ලදි.

එමෙන්ම ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට පියවර ගනිමින් වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවා ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය අවම කිරීමටත්, අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුලු ඖෂධ හිඟයකින් තොරව ලබාදීමත් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර, රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු වලට අදාල සැළැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කඩිනමින් ලබාදෙන ලෙස පැවැසූ සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒ අනුව රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ද පෙන්වා දෙන ලදි.

GalleryGallery