සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රීවරයා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර මධ්‍යයේ අද (28) පස්වරුවේ පැවැත්වූ සමගි ජන බලවේගයේ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් වාර්තා වේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කළුතර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම අත්අඩංගුවට ගැනීම කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් සිදුකර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර මහ නගර සභා නාගරික මන්ත්‍රී ජයනාත් නවරත්න මහතාය.
පොලීසිය සඳහන් කළේ, විරෝධතාවය පැවැත්වෙන ස්ථානය අසලින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු, එම ස්ථානයේ නවතා විරෝධතාවය ඉදිරිපිට “බත් කන හරක් තවමත් සිටිනවාද” යනුවෙන් ප්‍රකාශයක් කර ඇති බවයි.
එම ප්‍රකාශය හේතුවෙන් කේන්ති ගිය බවට සැක කරන නාගරික මන්ත්‍රීවරයා විසින් මෙම පුද්ගලයාට පහරදීම සිදුකර ඇති බවත් පොලීසිය පවසයි.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන අතර, ඔහු මෙම සිද්ධියෙන් අනතුරුව කළුතර දකුණ මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පහරදීම සිදුකළ බවට සැකකරන නාගරික මන්ත්‍රීවරයා ද, තමන් සහ ඔහුගේ පිරිස විසින් පැවැත්වූ සාමකාමී විරෝධතාවයට බාධා කළ බව පවසමින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, සැකකාර නාගරික මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලීසිය පවසයි.
මේ පිළිබඳව හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී, එවැනි සිද්ධියක් වාර්තා වී ඇති බවත්, එම අවස්ථාවේදී තමන් එම ස්ථානයේ නොසිටි බවත් ඔහු සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටින බවද වාර්තා වේ.