රජයට ලාභය සිදු වූ විට ස්තූති කරන්නේ නෑ - පාඩු වෙද්දී දඬුවමනම් දෙනවා - රත්වත්තේ වෙනුවෙන් එජාප කට අරී
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු, එක්සත් ජාතික පක්ෂ (එජාප) සභාපති සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රවීණ රාජ්‍ය නිලධාරී චරිත රත්වත්තේ මහතා වෙනුවෙන් තරයේ පෙනී සිටියේය.
දශක ගණනාවක් පුරා ජාතික සේවයට විශාල දායකත්වයක් ලබාදුන් ආදර්ශමත්, දේශප්‍රේමී රාජ්‍ය නිලධාරියෙකු ලෙස රත්වත්තේ මහතා හඳුන්වාදුන් අබේවර්ධන මහතා, 1980 දශකයේ ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේදීත්, 1988දී ජනසවිය දරිද්‍රතා බිඳ හෙලීමේ වැඩසටහන දියත් කිරීමේදීත් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට සහාය වූ බව සිහිපත් කළේය.
2001 ආර්ථික අර්බුදයේදී භාණ්ඩාගාර ලේකම් ලෙස සේවය කළ රත්වත්තේ මහතා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ද දායක වූ බවත් ඔහු අවධාරණය කළේය.
“රාජ්‍ය නිලධාරීන් රටට ප්‍රයෝජනවත් තීරණ ගන්නා විට ලැබෙන්නේ කලාතුරකින් ප්‍රශංසාවකි. නමුත් පාඩුවක් සිදුවූ විට - යහපත් චේතනාවෙන් ගත් තීරණයකින් පවා - දැඩි දඬුවම්වලට ලක් වේ. එය සාධාරණ නොවේ”
යැයි අබේවර්ධන මහතා පැවසීය.
යහපත් චේතනාවෙන් සහ අපරාධකාරී අරමුණකින් තොරව තීරණ ගත් අවස්ථාවලදී රාජ්‍ය සේවකයන්ට සංවේදීතාවයෙන් හා සාධාරණත්වයෙන් සැලකිය යුතු බවත් ඔහු ඉල්ලා සිටියේය.
2015-2018 කාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස සේවය කළ රත්වත්තේ මහතා, ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාවට රු. මිලියන 99.6ක පාඩුවක් සිදුකළ බවට චෝදනා මත අද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබේ.
කොමිසමට අනුව, සම්මත ක්‍රියාපටිපාටි මඟහරිමින් රත්වත්තේ මහතා හඳුන්වාදුන් සමාගමක් හරහා තාවකාලික ගබඩා ඒකක 50ක් මිලදී ගැනීම මෙම චෝදනාවට හේතු වී ඇත.