ජනතා විරෝධය නොතකා මන්නාරම් දූපතේ සැලසුම් කළ සුළං විදුලි බලාගාර ඉදි කරයි ද?
මන්නාරම් දූපතේ යෝජිත සුළං විදුලි බලාගාර තුනට අමතරව ඉදිරියේදී එම දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (04) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
මේ වන විට මහජන විරෝධය මධ්‍යයේ මන්නාරම් දූපතේ සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, තවත් නව ව්‍යාපෘති ආරම්භ නොකිරීමට රජය තීරණය කර තිබේ.
විභව අධ්‍යයනයකින් පසු තෝරාගත් මන්නාරම් දූපතේ සුළං විදුලි ව්‍යාපෘති තුනෙන් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරයේ කටයුතු 2021දී ආරම්භ වී ඇත. ඉතිරි දෙක වන Windscape Mannar (Pvt) Ltd සමාගමේ මෙගාවොට් 20ක ව්‍යාපෘතිය 2025 දෙසැම්බර් සහ Hayleys Fentons සමාගමේ මෙගාවොට් 50ක ව්‍යාපෘතිය 2026 දෙසැම්බර් ආරම්භ කිරීමට නියමිතය.
ප්‍රදේශවාසීන් ඉදිරිපත් කර ඇති පාරිසරික හා සමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින්, මන්නාරම් ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී ඇති බව බලශක්ති අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නේය. ඒ අනුව කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය ජයතිස්ස මහතා,
“පුනර්ජනනීය බලශක්තියෙන් රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් සපුරාගැනීමේ ඉලක්කයට එළඹීමට සුළං විදුලිය ඉතා වැදගත්. එහෙත් එය සිදුකළ හැකි ස්ථාන ඉතා සීමිතය. එබැවින් තෝරාගත් සුළං විදුලි බලාගාර තුන පමණක් ඉදිකර ඉන් පසු ජනතා කැමැත්තට එරෙහිව මන්නාරම් දූපතේ ව්‍යාපෘති ඉදි නොකරන බවට සහතික වෙමු”
“ජනතාවගේ සැලකිය යුතු ගැටලු මෙන්ම ජාතික අවශ්‍යතා ද ඉදිරියේ තිබේ. මෙම තත්ත්වය ජනතාව තේරුම් ගනී යැයි අප විශ්වාස කරමු”
යැයිද ඇමතිවරයා එකතු කළේය.