පාතාලයෙන් තර්ජන... ලලා මගේ කොල්ලෙක්… උගේ මයිලකටවත් හානියක් වුණොත් බලාගෙනයි!
ගුවන් තොටේදී කුලී ඝාතකයා කොටු වුණාම යකා වැහිලා
තවත් ඝාතන 11ක සුලමුල එළියට
කරන්දෙණියේ සුද්දා ඩුබායි සිට කටුනායක සීඅයිඩීයට ගොරවයි
“ලලා කියන්නෙ මගේ කොල්ලෙක්. උගේ මයිල් ගහකටවත් හානි කරලා තිබ්බොත් උඹලගෙ පවුල් පිටින් විනාශ කරනවා” යැයි කියමින් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කරන්දෙණියේ සුද්දා නමැති පාතාල නායකයා කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කර ඇත.
පාතාල නායකයා මෙම මරණීය තර්ජනය කර ඇත්තේ “ලලා” නමින් හඳුන්වන පාතාල කුලී ඝාතකයා තායිලන්තයට පලා යෑමට සූදානමින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටිය දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.
කරන්දෙණියේ සුද්දා නමැති පාතාල නායකයාගේ ප්‍රධාන කුලී ඝාතකයා ලෙස හඳුන්වන ලලා නමැත්තා සිදුකර ඇති මිනිස් ඝාතන 11ක තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
ඉකුත් මාර්තු මස 13 දා අක්මීමන ප්‍රදේශයේ දී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරි සිරිදත් ධම්මික මහතා වෙඩි තබා ඝාතනය කිරීම ද එම මිනිස් ඝාතන අතර ඇති බව පොලිසිය කියයි.
විජයමුනිගේ ලලන්ත ප්‍රීතිවිරාජ් හෙවත් ‘ලලා’ නමැති පාතාල කුලී ඝාතකයා මේ වනවිට අම්බලංගොඩ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.
දකුණු පළාතේ සිදුකළ මිනිස් ඝාතන, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ගණනාවක තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් පවතින බව පොලිසිය පවසයි.
ඉකුත් මාර්තු 13 වැනිදා අක්මීමන ප්‍රදේශයට කඩාවැදුණු තුවක්කුකරුවන් දෙදෙනකු විසින් සිය නිවස ඉදිරිපිට සිටි බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරි සිරිදන් ධම්මික මහතාට වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබිණි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය කරන්දෙණියේ සුද්දාගේ ප්‍රධාන කුලී ඝාතකයා වූ ලලා නමැත්තා මෙය සිදුකර ඇති බව හෙළි කර ගත්තේය.
ලලාගේ ඡායාරූපයක් ද සොයාගත් පොලිසිය එම අපරාධකරු රටින් පලා යෑම වැළැක්වීම සඳහා අපරාධකරුවන්ගේ මුහුණු හඳුනා ගැනීම සඳහා ගුවන්තොටුපළේ පිහිටුවා ඇති පද්ධතියට මෙම ඡායාරූපය ඇතුළු කර ඇත.
බන්ධනාගාර අධිකාරිවරයා ඝාතනය කර හරියටම මාසයක් පිරුණු දින එනම් අප්‍රේල් 14 වැනිදා ලලා නමැති කුලී ඝාතකයා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියේය.
එහිදී ගුවන්තොටුපළේ ස්ථාපිත කර තිබෙන අපරාධකරුවන් හඳුනා ගන්නා පද්ධතිය හරහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ලලා අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී ලලා පවසා ඇත්තේ තමන් තායිලන්තයේ සිටින තම පියා මුණගැසීමට යන බවයි. ඒ අවස්ථාවේ ලලා තම ජංගම දුරකථනයෙන් ඇමැතුමක් ගෙන තම පියා ලෙස හැඳින්වූ පුද්ගලයකුට කතා කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලබාදී ඇත.
එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇසූ ප්‍රශ්නවලට ඒ පුද්ගලයාට පිළිතුරු දීමට නොහැකි වී තිබේ. අවසානයේදී ලලා තමන් කරන්දෙණියේ සුද්දාගේ කුලී ඝාතකයා බව පිළිගෙන ඇත.
ඒ අවස්ථාවේ කෝපයට පත්වූ කරන්දෙණියේ සුද්දා ලලාට පවසා ඇත්තේ උඹ බය නැතිව හැම දෙයක්ම කියපං මං ඉතුරු හරිය බලා ගන්නම් යනුවෙනි.
ඒ අවස්ථාවේ කරන්දෙණියේ සුද්දා ලලාගේ ජංගම දුරකථනයෙන් ඒ ස්ථානයේ සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ද මරණීය තර්ජන එල්ල කර ඇත.
ලලාට හිංසා කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පවුල් පිටින් විනාශ කරන බව කියමින් සුද්දා තර්ජනය කර තිබේ.
අත්අඩංගුවට ගත් පාතාල කුලී ඝාතකයා වැඩිදුර විමර්ශන සඳහා අම්බලංගොඩ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්‍ෂණය යටතේ වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.
