අගෝස්තු, සැප්තැම්බර් මාස දෙකේ ලංකාවම අවදානමක - වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගපොළගේගෙන් හෙළිදරව්වක්
වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගපොළගේ මහතා පවසන්නේ එල් නිනෝ තත්ත්වයේ බලපෑම මත ඇතිවන වියළි කාලගුණික තත්ත්වය නිසා අගෝස්තු, සැප්තැම්බර් මාස දෙක ඇතුළත ජලය හිඟතාවක් බලාපොරොත්තුවීමට සිදුවන බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ වර්ෂාව හිඟවීම නිසා ජලාශවලට ගලා එන ජල ප්‍රමාණය අඩු වුවහොත් උෂ්ණත්වය සහ සුළඟේ වේගය අනුව වාෂ්පීකරණය වැඩිවීම නිසා ජලාශවල ජලය අඩුවීමට හැකි බවයි.
එමෙන්ම මේ වනවිට බොහෝ ප්‍රදේශවල යල කන්නයේ අවසන් අදියරට පැමිණ තිබෙන බවත්, තවත් ප්‍රදේශවල අස්වනු නෙළමින් පවතින බවත්, යල කන්නය අවසන් වනවිටදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු සියලුම ජලාශවල සමස්ත ජල ධාරිතාව සියයට 35 කට පමණ අඩුවීමේ සම්භාවිතාවක් පවතින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
මේ වනවිට වාරිමාර්ග ජලාශවල සමස්ත ජල ධාරිතාව සියයට 43 ක මට්ටමක පවතින බවත් අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී වගා කටයුතු සඳහා විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය නොවූවත්, ජල සම්පාදන කටයුතු සඳහා ජලාශවලින් ජලය සැපයීමට අවශ්‍ය බවත්, ඉදිරි මහ කන්නයට සූදානම්වීමට අවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය.
සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයේ මැද මහ කන්නය ආරම්භ කළද, ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී වර්ෂාපතනයේ යම් වැඩිවීමක් සිදුවන බවට පුරෝකථනය කර තිබීම නිසා මෙවර කල් ඇතිව මහ කන්නය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.