''..කන කහ වෙලා..බලද්දි කන හැමතැනම කක්කා..පිහිදලා නෑ ළමයව.." කළුබෝවිල දී මියගිය අලුත උපන් නිවුන් දරුවන්..
කැස්බෑව ප්‍රදේශයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නිවුන් දරුවන් දෙදෙනා මියයාමේ සිද්ධියක් වාර්තා වේ. රෝහලේ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මීට හේතු වූ බවයි, එම දරුවන් ගේ මව්පියන් චෝදනා කරන්නේ.
පසුගිය 08 වැනිදා කැස්බෑව, හොන්නන්තර සර්වෝදය මාවත ප්‍රදේශයේ පදිංචි අකිලා බොනිපස් දරු ප්‍රසූතියක් සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණේය.
ඊට පසුදින ඇය නිවුන් දරුවන් ප්‍රසුත කර තිබූ අතර, එම දරුවන් නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කර තිබේ. ඉන් පිරිමි දරුවා පසුගිය 19 වැනිදා මියගොස් ඇති අතර, වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ශ්වසන අපහසුතාවක් හේතුවෙන් දරුවා මියගොස් ඇති බවයි.
පළමු දරුවාගේ මියයෑමෙන් පසු, දරුවන් ගේ මව අනිත් දරුවාට මව්කිරි ලබාදීමට යන අවස්ථාවේ දී එම දරුවා ද මියගොස් ඇති බව අනාවරණ වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවන් ගේ මව්පියන් කොහුවල පොලිසීයට පැමිණිල්ලක් ද කර තිබේ.
සිද්ධිය පිළිබඳ පැවසූ මියගිය දරුවන් ගේ මව අකිලා බොනිපස්,
''කන කහ වෙලා. බලද්දි කන හැමතැනම කක්කා. පිහිදලා නෑ ළමය ව. මිඩ්වයිෆ් කිවුවා කක්කාවලිනුත් විෂබීජ යනවා කියලා. බබා හොඳයි තිස් හතරෙන් දෙනවා හැමදාම ගියාම ඒක තමා කිවුවෙ. අරයා නැති වුණාමත් කිවුවා මෙයා හොඳ බබෙක් නේ අම්මා අරයට තිබුණා නේ පොඩ්ඩක් ප්‍රශ්න එහෙම කියලා. හම්බෙලා සති දෙකයි අරයා දවස් 10න් ගියා මෙයා දවස් 14න් ගියා''
