ලෝකෙම ඇවිලෙද්දි ට්‍රම්ප්ගේ රුව සහිත සමරු රන් කාසියකට අනුමැතිය - ෆෙඩරල් නීතියත් අභිබවයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව සහිත සමරු රන් කාසියක් නිකුත් කිරීමට එරට ෆෙඩරල් කලා කොමිසම (Federal Arts Commission) අනුමැතිය ලබා දී තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව එළඹෙන ජූලි 4 වන දිනට යෙදෙන අමෙරිකාවේ 250 වන සංවත්සරය සනිටුහන් කිරීමට මෙම කැරට් 24 රන් කාසිය නිර්මාණය කරන බව සඳහන්. එසේම එහි ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය දෑත් මිට මොලවා මේසයක් මත තබාගෙන සිටින ආකාරය දිස්වෙයි.
ජීවත්ව සිටින ජනාධිපතිවරයෙකුගේ රුව අමෙරිකානු මුදල් ඒකකවල භාවිත කිරීම ෆෙඩරල් නීතියට අනුව තහනම් වුවත්, භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් සතු විශේෂ බලතල යටතේ මෙම රන් කාසිය මුද්‍රණය කිරීමට තීරණය කර තිබීම විශේෂත්වයක්.
මේ අතර කලා කොමිසමේ උප සභාපති ජේම්ස් මැක්‍රේරි පවසා ඇත්තේ මෙම කාසිය හැකි උපරිම ප්‍රමාණයෙන් එනම් අඟල් තුනක විෂ්කම්භයක් සහිතව නිපදවන ලෙසට තමන් යෝජනා කරන බවයි.
කෙසේ වෙතත් නිව්යෝර්ක් හි ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රස් සභික රිචී ටොරස් විසින් ජනාධිපතිවරුන්ට තමන්ගේම රුව සහිත මුදල් නිකුත් කිරීම වැළැක්වීම සඳහා "Trump Act" නමින් පනතක් ඉදිරිපත් කළද, එය මෙතෙක් සම්මත වී නැත.
මේ අතර මින් පෙර සිය ජීවිත කාලය තුළදී ඇමෙරිකානු කාසියක රුව සටහන් වූ එකම ජනාධිපතිවරයා වන්නේ කැල්වින් කූලිජ් (Calvin Coolidge) පමණක් බවද වාර්තා වේ.