පවුල් පසුබිමකින් හෝ රඟපෑමකින් සැබෑ නායකත්වය ලබාගත නොහැකියි - වෛද්‍ය නජිත් ඉන්දිකගෙන් සැර කතාවක්
සැබෑ නායකත්වය කෘත්‍රිමව නිර්මාණය කළ නොහැකි බවත්, රඟපෑමකින් හෝ පවුල් පසුබිමකින් නායකත්වය ලබාගත නොහැකි බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ නායකයෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීමෙන් පමණක් කිසිවෙකුට සැබෑ නායකයෙකු බවට පත්විය නොහැකි බවයි. “නායකත්ව ලක්ෂණයක් තමන්ගේ ඇතුළේ නැතුව නායකයෝ විදිහට රඟපෑවට නායකයෝ වෙන්නේ නැහැ” යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
නායකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු “නිල් පාට තීන්ත බාල්දියට වැටුණු නරියා” පිළිබඳ පැරණි කතාව උදාහරණයක් ලෙස ගෙනහැර දැක්වීය. කැලයේ සිටි නරියෙකු ආහාර සොයා ගමකට පැමිණි අවස්ථාවක නිල් පැහැති තීන්ත බාල්දියකට වැටීමත් සමඟ එහි වර්ණය හේතුවෙන් අනෙකුත් සතුන් ඔහු විශේෂ සත්වයෙකු ලෙස හඳුනාගත් බවත්, අනතුරුව නරියාද තමන් නායකයෙකු ලෙස හැසිරීමට පටන්ගත් බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් වැස්සක් ඇදහැලීමෙන් තීන්ත සේදී ගිය පසු නරියාගේ සැබෑ ස්වභාවය අනාවරණය වූ බවද ඔහු පෙන්වා දුන්නේය. වර්තමානයේදීද ඇතැම් පුද්ගලයන් කෘත්‍රිමව නායකයන් බවට පත්කර ජනතාව ඉදිරියට ගෙන එන බවට චෝදනා කළ වෛද්‍ය නජිත් ඉන්දික මහතා, පවුල් පසුබිම මත දේශපාලන නායකයන් ලෙස පුද්ගලයන් ඉදිරිපත් කර ඔවුන්ට ප්‍රකාශ කළ යුතු වචන පවා සකස් කර දීමට සහ වේදිකාවේ හැසිරිය යුතු ආකාරය පුහුණු කිරීමට හැකියාව ඇති බව සඳහන් කළේය.
එහෙත් අනපේක්ෂිත ප්‍රශ්නයකට හෝ අභියෝගයකට මුහුණදෙන අවස්ථාවක එවැනි පුද්ගලයන්ගේ සැබෑ ස්වභාවය හෙළිවන බවද මන්ත්‍රීවරයා පැවසීය. මෙහිදී නාමල් රාජපක්ෂ මහතා උදාහරණයක් ලෙස සඳහන් කළ ඔහු, කෙතරම් කෘත්‍රිමව නායකත්ව ප්‍රතිරූපයක් ගොඩනැගීමට උත්සාහ කළද අභියෝගාත්මක අවස්ථාවකදී සැබෑ ස්වභාවය හෙළිවන බව ප්‍රකාශ කළේය.
සැබෑ නායකයන් බිහිවන්නේ සමාජයක් තුළ කෘත්‍රිමව නිර්මාණය කරන පුද්ගලයන් ලෙස නොවන බව අවධාරණය කළ වෛද්‍ය නජිත් ඉන්දික මහතා, සමාජය වෙනුවෙන් අවංකව කටයුතු කරන, පොදු අරමුණු වෙනුවෙන් කැපවන සහ ඒ වෙනුවෙන් අඛණ්ඩව වෙහෙසෙන පුද්ගලයන් අතරින් සැබෑ නායකයන් බිහිවන බවද සඳහන් කළේය.
එවැනි නායකත්වයක් සහ ජනතාව වෙනුවෙන් සිදුකරන අවංක මැදිහත්වීම් හේතුවෙන් සිය දේශපාලන ව්‍යාපාරය සාර්ථකත්වයට පත්ව ඇති බවත්, එම සාර්ථකත්වය ඉදිරියටත් පවත්වාගෙන යා හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.