කොවිඩ් ආසාදිත දරුවන් ව නිවසේ තබාගෙන ප්‍රතිකාර කළ හැක්කේ කෙසේ ද?

covid19 vaccination delta variety infect children channa de silva
By Sewvandhi Aug 17, 2021 08:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් ආසාදිත ළමුන් නිවෙස් තුළ තබා ගනිමින් ප්‍රතිකාර සිදුකිරීම වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණක් සිදුකළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසයි. කෙසේවෙතත් වයස අවුරුදු 02කට අඩු දරුවන් හා නිධන්ගත රෝගාබාධ සහිත දරුවන්ට වෛරසය ආසාදනයවූ විට ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පැවසුවේය.

"කොවිඩ් රෝගය පැතිර යෑමේ හැකියාව මත නිවසේ සියලුදෙනා ට ම කොවිඩ් රෝගය වැලඳීමේ හැකියාව වැඩිවෙලා තියෙනවා. දරුවන් නිවස තුළ තබාගෙන ප්‍රතිකාර කිරීම වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණක් ඔබ ඒ් සම්බන්ධයෙන් ලියාපදංචි වෙලා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දන්වා නැතිනම් 1390 යන දුරකථන අංකයෙන් ඒ් සම්බන්ධයෙන් දැනුම් දීලා වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණක් දරුවන් නිවස තුළ තබා ප්‍රතිකාර කිරීම සිදුකළ හැකියි. ඒසේ නොමැතිව ඔබ විසින් තීරණය කරලා දරුවා නිවසේ රඳවා ගෙන සිටින්න එපා."

කොවිඩ් ආසාදිත ළමුන් නිවෙස් තුළ තබා ගැනිමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා මෙලෙස පැහැදිලි කළේය.

"මෙය වෛරස රෝගයක් නිසා විශේෂ ප්‍රතිකාරයක් ඇත්ත වශයෙන් ම නෑ. දරුවාගේ සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාවලියක් තුළින් මේ වෛරසය සමඟ සටන් කරලා රෝගය සමනය වීම සිදුවෙනවා. එම නිසා අනවශ්‍ය ලෙස ඖෂධ සොයා යෑම සහ ඖෂධ දරුවන් ට ලබාදීම කිසිසේත්ම සිදුනොකළ යුතුයි. මද උණ තත්ත්වයක් පවතී නම් පැරසිටිමෝල් බර අනුව නියමිත මාත්‍රාව ලබාදෙන්න පුළුවන්. දරුවා ට නිවස තුළ සාමාන්‍ය ක්‍රියාකාරකම් සඳහා යොමුකළ හැකියි. විශේෂ පාලනයක් අවශ්‍ය නෑ. කය වෙහෙසා සිදුකරන ක්‍රීඩාවලින් යම් බැහැරවීමක් මේ දිනවල සිදුකිරීම වැදගත්‍. ඊට අමතරව ඔවුන් ට නිසි පෝෂණයක් විශේෂයෙන් සමබල ආහාර වේලක් ලබාදීම අවශ්‍යයි‍."

එමෙන්ම,පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලට දෛනිකව කෙරෝනාවෛරසය ආසාදනය වූ දරුවන් 20-25ත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා ඇතුළු වන බවත් මේ වන විට රෝහල තුළ දරුවන් 150-200ත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් පසුවන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

අගෝස්තු 16 දිනයේ එම රෝහලේ පවතින කොවිඩ් ආසාදිත රෝගීන්ගේ වර්තමාන තත්ත්වය ගැන පැහැදිලි කරමින් රෝහල් අධ්‍යක්ෂකවරයා මෙසේ පැවසීය. ඒ අනුව, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා ආසාදිත දරුවන් සඳහා ප්‍රතිකාර කිරීමට රෝහල තුළ වාට්ටු 05ක් සහ රාජගිරිය ආයුර්වේද රෝහලේ මහලක් ද වෙන්කර ගෙන තිබෙන බව විජේසූරිය මහතා පැවැසීය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේ ද පැවසීය.

''මේ වන විට ප්‍රතිකාර සේවා පුළුල් කරමින් සෙසු පළාත්වල ද වාට්ටු සංකීර්ණ විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. හම්බන්තොට රෝහලේ එවැනි වාට්ටුවක් ආරම්භ කළා. මේ වෙද්දී ඔක්සිජන් අවශ්‍යතාව යම්කිසි ආකාරයක උපරිමයකට පත්වී තිබෙනවා. පිළියමක් ලෙස රජය විසින් ඔක්සිජන් ආනයනය කරන්න කටයුතු යොදා තිබෙනවා. ඉදිරි සති දෙකකට අවශ්‍ය ආකාරයට ඔක්සිජන් ගබඩා කරන්න කටයුතු කරනවා. රෝගීන්ට බාධාවක් නොවන අයුරින් කටයුතු පවත්වාගෙන යනවා. ආසාදිතයින් හා මරණ අඩුකර ගැනීම සඳහා වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන් එන්නත ලබා ගත යුතු වෙනවා.

ඊට පහසුකම් සලසා දී තිබෙන නිසා එන්නත ලබා ගන්න යැයි ඉල්ලා සිටිනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, ශ්වසන රෝග තියෙන අය අනිවාර්යයෙන් එන්නත ලබා ගත යුතුයි. කොවිඩ් මරණ විශ්ලේෂණයේදී මරණවලින් 95%ක් ම එන්නත ලබා ගෙන නැති අයයි. 70%කට වැඩි පිරිසක් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග,ශ්වසන රෝග වගේ රෝග තිබෙන අයයි.

රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා ස්වයං විනයකින් මේ වෙලාවේ කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතුයි. රටේ පැය 24 ම ඇඳිරි නීතිය දමා මාස ගණන් වසා තබන්න හැකියාවක් නැති බව අපි පිළිගන්නවා. ඒ නිසා අනවශ්‍ය ඒකරාශී වීම් වළක්වා ගන්න හැකි නම් පවතින ව්‍යසන තත්ත්වයෙන් රට බේර ගන්න පුළුවන්.'' 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now