රට කළඹපු භාණ්ඩාගාර මූල්‍ය ගැටලුව ලංකාවට පමණක් විශේෂ නෑ තව තැන්වලට හැකර්ලා ගැහුවා - ලක්මාලි
මහා භාණ්ඩාගාරය සම්බන්ධයෙන් මතුව ඇති මූල්‍ය ගැටලුව ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂී වූවක් නොවන බවත්, ඉකුත් වසරේ එංගලන්තයේ රේගු කාර්යාලය මෙන්ම ඕස්ට්‍රේලියාවෙද මෙවැනිම පද්ධතිමය අනවසර ඇතුළුවීම් හෝ වංචනික ක්‍රියාවන්ට මුහුණ දී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරයි.
ඒ අනුව රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරිය පෙන්වා දී ඇත්තේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ණය කළමනාකරණ කාර්යාලය සහ මහ බැංකුව සම්බන්ධ වන ගනුදෙනු ක්‍රියාවලියකදී, තෙවන පාර්ශවයක් විසින් එවන ලද ව්‍යාජ විද්‍යුත් ලිපියකට අදාළව ගෙවීමක් සිදුව තිබෙන බවයි.
ඩො. මිලියන දෙකහමාර දාන්න කළින්ම එය සැක සහිත ගනුදෙනුවක් බව HSBC දෙවරක් අනතුරු අඟවලා - හර්ෂගෙන් හෙළිදරව්වක්
"මෙය පද්ධතියේ පවතින දුර්වලතාවයක් නිසා සිදු වූවක්ද නැතහොත් ආයතනය තුළම සිටින අයෙකුගේ සම්බන්ධතාවයකින් (Inside Job) සිදු වූවක්ද යන්න පිළිබඳව නිසි විමර්ශනයක් කළ යුතුයි. එංගලන්තයේ රේගු කාර්යාලයත් පසුගිය වසරේ මෙවැනිම ව්‍යාජ විද්‍යුත් ලිපි හරහා සිදුකරන වංචාවකට හසු වුණා. ඕස්ට්‍රේලියාවෙත් මෙවැනි සිදුවීම් වාර්තා වී තිබෙනවා. එබැවින් මෙය ලංකාවට පමණක් සීමා වූවක් නෙමෙයි"
එමෙන්ම ඇය අනාවරණය කළේ මෙම වංචාව සම්බන්ධයෙන් වගකීමක් පවතින නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙන බවයි.
එසේම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව මේ වන විටත් අදාළ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළා.
තවද ඇය අවධාරනය කළේ රජයේ නිලධාරියෙකු අතින් වරදක් සිදුව ඇත්නම් ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතු බවත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතනවලදීද මෙවැනි පියවර ගැනීමට පසුබට නොවන බවත් ය.