මාසයක් ඇතුළත නානුඔය දක්වා දුම්රිය ධාවනයට කොළ එළියක්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නායයෑම්වලට ලක් වූ උඩරට දුම්රිය මාර්ග යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ දිනවල කඩිනමින් සිදු කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා දුම්රිය සේවය යටතේ නානුඔය දුම්රිය ස්ථානයේ විධායක ඉංජිනේරුවරයා සඳහන් කළේ, අඹේවෙළ සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර දැනට ධාවනය වන සියලුම දුම්රිය සේවා මාසයක පමණ කාලයක් තුළ නානුඔය දක්වා දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.
මෙම කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (13) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සංවර්ධන කමිටු රැස්වීමකදීද අවධානය යොමු වී තිබේ.
එහිදී අදහස් දක්වමින් ඉංජිනේරුවරයා පැවසුවේ, නානුඔය සහ අඹේවෙළ දුම්රිය ස්ථාන අතර නායයෑමට ලක් වූ එක් ස්ථානයක් මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බවයි.
ඒ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හි සහායද ලබාගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.