ලංකාව මානුශීය රටක් බවට ආයෙ ආයෙමත් ඔප්පු කරමින් - යුද ගැටුම් නිසා ශ්‍රී ලංකාවේ සිරවී සිටින සංචාරකයින්ට සත්කාර
මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන අමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද ගැටුම් හේතුවෙන් සිය මව්බිම් කරා යාමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ සිරවී සිටින විදේශීය සංචාරකයන් වෙනුවෙන් සුවිශේෂී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත.
මෙම ක්‍රියාවලියේ මූලික අරමුණ බවට පත්ව තිබෙනුයේ මෙරටට පැමිණ අසරණ වූ සංචාරකයන්ගේ සුභසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීමයි.
ලෝකයේම ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය යළි යළිත් මෙමගින් ඔප්පු කර තිබේ.
සංචාරක මණ්ඩලයේ මැදිහත්වීමෙන් මෙම විදේශිකයන් සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් මේ වන විටත් ආරම්භ කර තිබේ.
බලධාරීන් සදහන් කළේ තත්ත්වය යහපත් වී සංචාරක කටයුතු නැවත ආරම්භ වන තෙක් දිනපතා පෙ.ව. 11:00 සිට ප.ව. 3:00 දක්වා ආහාර ලබා දෙන බවයි.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය එක්ව සංවිධාන කර තිබේ.
තවද ගුවන් ගමන් අත්හිටුවීම නිසා මෙරට කොටුවී සිටින සංචාරකයන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සහ උපරිම රැකවරණය සැලසීමට ද රාජ්‍ය ආයතන එක්ව කටයුතු කරමින් තිබේ.
මැදපෙරදිග යුධමය තත්වය තුළ වුවද ශ්‍රී ලංකාව අනුගමනය කරන මෙම වැඩපිළිවෙල ජාත්‍යන්තර සංචාරකයන්ගේ ඇගයුමට ළක් කර තිබේ