හිටපු හමුදා ලුතිනන් කර්නල් ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් කොටුවෙයි
ගාල්ල, රත්ගම ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා ලුතිනන් කර්නල්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව ඊයේ (28) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔවුන් රත්ගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 31, 38 සහ 41 යන වයස්වල පසුවන ගිංතොට, මාගාල්ල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කරන්නේ. පසුගිය නොවැම්බර් 26 වැනිදා රත්ගම, මලියදූව චීනපිටනිය ප්‍රදේශයේදී හිසට වෙඩි වැදීමෙන් මියගොස් සිටියදී මෙම හිටපු හමුදා නිලධාරියාගේ සිරුර සොයාගෙන තිබුණා.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ ගාල්ල රිච්මන්ඩ් හිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි හිටපු ලුතිනන් කර්නල්වරයෙක්.
ගනේමුල්ල සංජීව නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ඝාතනයට අදාළ ගිනිඅවියක් සහ පතොරම් සැපයීමේ චෝදනාව මත මියගිය පුද්ගලයා පසුගිය වසරේ සැප්තැම්බර් 11 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පසුව ඔහු 2026 නොවැම්බර් 3 වැනිදා ඇප මත මුදාහැර ඇති අතර, ඉන් සති තුනකට පමණ පසු මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳගෙන්ද මීට පෙර පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.