ත්‍රීවිල්වලට ඉන්ධන ලබා දෙන්න යන අලුත්ම විදිය මෙන්න..

Sri Lanka Fuel Crisis
By Aruna Jul 26, 2022 01:35 AM GMT
Aruna

Aruna

Report

ලබන අවුරුද්දෙත් තෙල් පෝලිම් විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ද ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඒ අනුව ලබන අගෝස්තු මාසයේ සිට 2023 වසරේ ජූලි මාසය පමණ දක්වා මෙරටට ඉන්ධන ආනයනය කිරීම විශාල ගැටලුවක් වනු ඇත.

පසුගිය දින කිහිපයකට පෙරද ඇමැතිවරයා පවසා සිටියේ ලබන මාසයේ ඉන්ධන ආනයනය කරගැනීමද අභියෝගයක් බවය.

දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි වීම නිසා කිව්.ආර්. පද්ධතිය හඳුන්වා දුන් බව මෙම පණිවිඩයේ ඔහු සඳහන් කර තිබේ.

ඛනිජ තෙල් සංස්ථාව සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදා හැර නොමැති බවත් තොග අසීමිතව තිබුණ ද සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන ලබාදීම ප්‍රායෝගිකව කළ නොහැකි බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ දිනවල ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන පිරවුම්හල් සඳහාද අත්‍යවශ්‍ය සේවාවන් සඳහාද ලබාදීමට දිනකට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් තුන්දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් හාරදහසක් ලෙසින් සීමා සහිතවය.

විවිධ ක්‍රම ඔස්සේ දැනට තිබෙන තොග හැකිතාක් උපරිම කාල සීමාවක් භාවිත කිරීමට රජය අදහස් කර සිටින බවත් මේ හේතුවෙන් තවදුරටත් ජනතාව පෝලිම්වල අපහසුතාවට පත්වන බවත් පවසමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති රජයට චෝදනා කරයි.

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලබා ගැනීමේදී එම රථ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පොලිස් ස්ථාන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමට නියමිතව ඇත.

එමෙන්ම ත්‍රිරෝද රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට විශේෂිත පිරවුම්හල් වෙන් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම බස් රථ සඳහා ඉන්ධන ලබාදීම සඳහා බස් රථ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now