දළදා වහන්සේට මඩ ගහයි - අස්ගිරි මල්වතු නාහිමියන්ගෙන් චෝදනා
මෑත කාලීනව උතුම් ශ්‍රී දළදා වහන්සේ මූලික කරගනිමින් විවිධ පාර්ශ්වයන් විවිධ මිථ්‍යා මතයන් සහ වැරදි සහගත අදහස් සමාජගත කිරීම සිදුකරනු ලබන අතර එවැනි ක්‍රියා වැඩිවීමක් දකින්නට ලැබෙන බව අස්ගිරි මල්වතු නායක හිමියන් සඳහන් කරයි.
විවිධ සාවද්‍ය චෝදනා මිත්‍යා මත ඉදිරිපත් කරමින් සිදු කරන මෙම ක්‍රියාවලිය නිසා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික පියවර ගැනීම වෙනුවෙන් මහා නායක හිමිවරු පොලිස්පති වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල නාහිමියෝ කියා සිටියහ.
වෙනත් යම් යම් සංවිධාන විසින් ආධාර උපකාර එකතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත්, එවැනි පුද්ගලයන්ට හසු නොවන ලෙසත්, එලෙස කිසිදු සංවිධානයකට මුදල් එකතු කිරීමට දළදා මාලිගාව හෝ රජය කිසි ආකාරයක අවස්ථාව ලබාදී නැති බවත් අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පැවැසූහ. ‘සිරි දළදා වන්දනාව’ සිරි දළඳා වන්දනාව’ අප්‍රේල් මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා දින 10 ක කාලයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේලා මේ බව කියා සිටියහ.
ලක්ෂ සංඛ්‍යාත ජනගහනයක් මහනුවරට පැමිණෙන බවත්, ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නට රජය කටයුතු කරන බවත්, මෙහිදී විශාල ඉවසීමක් කැපවීමක් සහිතව මෙම උතුම් කටයුත්තට දායක වන ලෙස ඉල්ලා සිටින බවත් බුද්ධ ශාසන, ආගමික කටයුතු, සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මෙහිදී කියා සිටියේය.
