පොලිස් නිලධාරීන් 51කට ඒ.එස්.පී. තනතුරු
සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීමේ සීමිත තරග විභාගයට මුහුණ දුන් ඉහළින් සමත් වූ පොලිස් නිලධාරීන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලබා ඇත.
මෙම උසස්වීම් ලේඛනය ඉදිරි පැය කිහිපය තුළ පොලිස් මූලස්ථානය විසින් නිකුත් කිරීමට නියමිතය. ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදුන් එම ලේඛනය ඊයේ (23) සවස පොලිස් මූලස්ථානය වෙත යොමු කර තිබිණි.
2023 වසරේ පැවති සීමිත තරග විභාගයෙන් උසස්වීම් ලබාගත් නිලධාරීන් අතර කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකු සිටින බව පොලිස් ආරංචි මාර්ග හෙළි කළේය.
දැනට සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 2000කට ආසන්න පිරිසක් මෙම සීමිත තරග විභාගයට මුහුණ දී ඇති අතර, ඉන් ඉහළම ලකුණු ලබාගත්, නොකැළැල් සේවා වාර්තාවක් ඇති නිලධාරීන් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස තෝරා ගනු ලැබ ඇත.